අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාන්තර ආරක්ෂා කිරීම සඳහා නීතිය බලාත්මක කළ යුතුය Featured

    අප්‍රේල් 29, 2014


    වනාන්තර ආරක්ෂා කිරීම මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් තනිව සිදු කළ නොහැකි කටයුත්තක් බවට පත්වී තිබෙන අතර, ඒ සඳහා නීතිය බලාත්මක කිරීම මඟින් වනාන්තර සංරක්ෂණය කළ යුතු බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවති ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පරිසර ආරක්ෂණ කමිටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවේදී කරුණු පැහැදිලි කරමිනි. ඒ අනුව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ දියත් කෙරේ.

    මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ වර්ෂ 2020දී වන වගාව 35%ක් කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා දැනට පවතින වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25හි මහජන සහයෝගය ලබා ගනිමින් ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පරිසර ආරක්ෂණ කමිටු ආරම්භ කෙරේ. මේ වන විට ශ්‍රී ලංකාවේ වන වැස්ම 29%ක් ලෙස හඳුනාගෙන ඇති අතර, 35%ක ඉලක්කය සපුරා ගැනීම සඳහා මූලික වශයෙන් දැනට ඇති වනාන්තර ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම මෙන්ම තවත් හෙක්ටයාර හාරලක්ෂ පනස්දහසක පමණ භූමි ප්‍රමාණයක වනාන්තර ස්ථාපනය කිරීමට සිදුවේ. හේන් ගොවිතැනේ සිට සංවර්ධන කටයුතු දක්වා  විවිධ හේතූන් මත නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන මට්ටමින් වනාන්තර එළිකිරීම සිදුවේ. මෙසේ නීත්‍යනුකූල නොවන අන්දමින් වනාන්තරවලට හානි සිදු කිරීම වැළැක්වීම සඳහා ජාතික මට්මමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කිරීම මෙහි මූලික අරමුණ වේ.


    මෙහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ග්‍රාම සේවා වසම දක්වා කමිටු පිහිටුවීම සිදුකරන අතර, එමඟින් තමන්ගේ ප්‍රදේශයේ ඇති වනාන්තර මෙම කමිටුවල පූර්ණ අධීක්ෂණයෙන් රැක බලාගැනීමේ සිදුකෙරේ.මෙහි පළමු නියාමක වැඩසටහන ලබන මැයි මස අනුරාධපුර දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරෙන අතර ජුනි 05වනදාට යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් මුළු දිවයින පුරාම මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීම සිදු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    මෙම වැඩපිළිවෙළ යටතේ ජාතික මට්ටමේ කමිටුවකින් ආරම්භ වී ප්‍රාදේශීය මට්ටම, දිස්ත්‍රික් මට්ටම, අඩවි වන මට්ටම, ප්‍රාදේශීය ලේකම් මට්ටම හා ග්‍රාමීය මට්ටම දක්වා කමිටු පිහිටුවා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන අතර, ග්‍රාමීය මට්මමේ කමිටුවක ප්‍රදේශයේ ආගමික පූජකවරුන්, ප්‍රදේශයේ දේශපාලන නායකයින්, පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රජා නායකයින් හා ප්‍රදේශවාසීන් ඇතුළත් වේ. ග්‍රාමීය මට්ටමේ කමිටුවක් මඟින් සිය ප්‍රදේශයේ පවතින වනාන්තර ආරක්ෂා කෙරෙන අතර ම ඔවුන්ට පාලනය කළ නොහැකි අන්දමේ අපරාධයක් සිදු වන විට ඒ සඳහා ඉහළ කමිටු දැනුවත් කිරීමද සිදු කරනු ලබයි. මෙවැනි දැනුම් දීමකදී පොලිසීය හා විශේෂ කාර්ය බලකාය මඟින් අදාළ කමිටු හා සම්බන්ධ වී අවශ්‍ය පියවර ගනු ලබන අතර රාජකාරී කටයුතු සඳහා සම්බන්ධ වන වන නිලධාරීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමද සිදු කරනු ලැබේ.



    එසේම අදාළ දැනුම් දීමේ කටයුතු සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තුළ තොරතුරු ලබා ගැනීමේ ඒකකයක් පිහිටවනු ලබන අතර, හදිසි ඇමතුම් සේවාවක් ද ආරම්භ කෙරේ. ඒ අනුව ලැබෙන නිවැරදි තොරතුරු අනුව අදාළ වැටලීම් කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුව එක්ව සිදු කරනු ලැබේ.

    මීට අමතරව සියලු ම පාර්ශවකරුවන් සඳහා වනාන්තරයේ වැදගත්කම, වනාන්තර රැකගැනීම, පරිසර දූෂණය අවම කිරීම හා පැල සිටුවීම වැනි කරුණු සම්බන්ධව දැනුවත් කිරීම් කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරේ.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක, වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya