අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට විරුවන් උපයන විදේශ ආදායම් අපට මහත් ධෛර්යයක්

    අප්‍රේල් 23, 2014


    විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකේයයන්ගෙන් ලැබෙන විදේශ ආදායම් අපට මහත් ධෛර්යයක් යැයි පසුගියදා කොරියාවේ උල්සාන් නුවර පැවති බක් මහ උළෙලට සහභාගී වූ සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.

    නොබැඳි ජාතීන්ගේ සම්මේලනය සමගින් ආරම්භ වූ අපේ රටේ විදෙස් රැකියා ක්‍රමවේදය හැත්තෑහතේ දී පරිවර්තනය වූ විවෘත ආර්ථිකයෙන් මෙම ක්ෂේත්‍රය පෞද්ගලික අංශය වෙත යොමු වුණා. නමුත් අද වනවිට අපගේ රජය මැදිහත් වී සැලසුම්ගත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම නිසා ඔබගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් මත මේ සියලු දෙනාට විදෙස් රැකියාවක් කිරීමට හැකිවීම භාග්‍යක් ලෙස සැලකිය යුතුයි. දැනට රටවල් විසි හතරක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ විස්සක් පමණ සිටිනවා. වැඩි පිරිසක් මැදපෙරදිග රටවල මෙන්ම කොරියාවේ ද සේවය කරනවා. ඒ වගේම  ඔබේ ශක්තිය අද අපේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වෙලා, එදා තේ පොල් රබර් වලින් ලබාගත් විදේශ විනිමයට සරිලන ප්‍රමාණය අද ඔබ වැනි විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකේයයන්ගෙන් ලැබීම අපිට මහත් ධෛර්යයක්.

    බක් මහ උළෙලට සහභාගී වූ සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විදෙස් රටවලට සේවයට යන්නේ තම දූදරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට හා තමාටම කියා නිවසක් ඉදිකර ගැනීමට බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් 1996 දී කම්කරු අමාත්‍යවරයා ලෙස, විදෙස් රැකියාවල නියුතු ඔබගේ දු දරුවන් වෙනුවෙන් ආරම්භ කළ ‘මහින්දාභිමානි ශිෂ්‍යත්වය’ ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පහේ ශිෂ්‍යත්වය හා සාමාන්‍ය පෙළ සමත්වන සිසුන්ටත් සරසවි වරම් ලබන සිසුන්ටත් මෙහිදී ශිෂ්‍යත්ව පිරිනමනවා. මේ වරප්‍රසාදය විදේශ රැකියා සඳහා ලංකාවෙන් පිටත්වීමට බලාපොරොත්තු වන අයගේ දු දරුවන්ටත් හිමිවීම සුවිශේෂී තත්ත්වයක්.

    ඒ වගේම ඔබගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ‘රට විරු පියස’ නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මේ යටතේ දැනටමත් විදේශීය සේවය කරන විශාල ප්‍රමාණයකට නිවාස සිහිනය සැබෑකර දීමට හැකිවීම ජයග්‍රහණයක්. මෙවැනි සැලසුම් ගත ක්‍රමවේදයන් නිසා ඔබ දහදිය මහන්සියෙන් උපයන මුදල අනවශ්‍ය ලෙස වියදම් කිරීම අවම කිරීම හා රැකියා කාලය නිම වී ලංකාවට පැමිණෙන විට ආර්ථික අතින් ශක්තිමත්ව නිවසක හිමිකාරීත්වය ලබා දීම අපගේ රජයේ බලාපොරොත්තුවයි.

     අපගේ මාතෘභූමියේ සාමුහිකත්වයට පහර එල්ල කරන මෙවන් අවධියක ජාත්‍යන්තරයේ සිටින සියලු ශ්‍රී ලාංකේය ජනතාවත් අපගේ රට වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිතුමන් මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවා ගෙන ශ්‍රී ලංකාව එක ධජයක්  යටතේ ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු ජනතාවට  ප්‍රජාතන්ත්‍රවාදය  උපරිම ලෙස භුක්ති විඳීමට ලබා දී තියෙනවා. එය පසුගිය මාසයේ පැවැත් වූ බස්නාහිර සහ දකුණු පළාත් සභා සමස්ත මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලි වෙනවා. මෙය  අපේ රටේ සාමුහිකත්වයට වින කිරීමට තැත්කරන විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් හා  විජාතීය බලවේගයන්ට නිසි පිළිතුරක් වෙනවා. එමෙන්ම ජාත්‍යන්තරය නඟන චෝදනා පල රහිත බවත් ජනතාව ජනාධිපතිතුමන් කෙරෙහි තැබූ විශ්වාසය නොසැලී තිබෙන බවත්, කිසිදු රටකට හෝ බලවේගයකට රූකඩයක් වීමට රටේ ජනතාව ඉඩ නොතබන බවට මෙය කදිම සාක්ෂියක් යැයි ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයින් කෘත ගුණ සලකන විශිෂ්ට ජාතියක් හැටියට සිංහල හින්දු අවුරුදු උත්සවයක් සමරන මේ අවස්ථාවේදී ඔබ සැමට කෘත ගුණ සැලකීමට ලැබීම මා භාග්‍යක් ලෙස සලකනවා. දුරු රටක හිටියත් අපගේ සිරිත්, චාරිත්‍ර අමතක නොකර පිළිපැදීම අපේ ජාතියේ යුතුකමක්, එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිදුකිරීමේ සාර්ථකත්වය මේ රැස්ව සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගෙන් අපට හොඳාකාරවම පේනවා. මෙයයි අපේ ශ්‍රී ලාංකීය ශක්තිය. මෙයයි අපේ ශ්‍රී ලාංකීය බලය.
    කොරියා ශ්‍රී ලංකා සමාජ සේවා වැඩ කටයුතු වර්ධනය කරගැනීම සඳහාත් අසරණ ශ්‍රී ලාංකීය ආබාධිත හා වැඩිහිටි ප්‍රජාවගේ සුබ සිද්ධිය පිණිස කොරියානු රාජ්‍යයේ සමාජ සේවා ආයතන සමඟ සම්බන්ධතාවන් පුළුල් කර ගැනීම සඳහාත් කොරියාවේ සංචාරයක නියැළෙන අතර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා මේ බක් මහ උළෙලට සහභාගී විය.
    මෙම අවස්ථාව සඳහා කොරියානු ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා සහ උල්සාන් නගරයේ පොලිස් ප්‍රධානී ද සහභාගී වූහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya