මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ ජනතාවට සමෘද්ධිමත් ආර්ථික වටපිටාවක් උදා කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 15, 2014
    වතුකරයේ ජනතාවට ඇතැම් පාර්ශවයන් විවිධ තාඩන පීඩන එල්ල කළ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සමෘද්ධිමත් ආර්ථික වටපිටාවක් උදා කිරීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් දියත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.
     
    දේශපාලනික වශයෙන් මෙන් ම විවිධ ලාභ අපේක්ෂාවෙන් වතුකරයේ ජනතාව කූට අන්දමින් උපයෝගී කර ගන්නා ඇතැමුන් සිය අපේක්ෂා මුදුන්පත් කර ගැනීමෙන් අනතුරුව වතුකරයේ ජනතාව මග හැර ගියත්, අප රජය එම ජනයා කිසිසේත් ම අමතක නොකළ බවත් අග්‍රාමාත්‍යතුමා කීවේය. ඒ නිසා ම සාමාන්‍ය ජනතාවට මෙන් ජීවත්වීම සඳහා නිවසක් සහිත ඉඩමක් ද සෙසු ජනතාවට හිමි අයිතිවාසිකම් ද ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බව අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
     
    මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ යෝජනාවක් පරිදි පුස්සැල්ලාව සොගමා වතුයායේ මුත්තුමාරි අම්මාන් පත්තිනි කෝවිලේ අභිනව පියගැටපෙළ සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මෙසේ ද පැවසීය.
     
    “සාමාන්‍ය ජනතාවට මෙන් ජීවත්වීමේ අයිතිවාසිකම ලබාදීම සඳහා අප රජය මේ වන විට විශාල වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීම මෙන් ම ඔවුන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කර තිබෙනවා. එමෙන් ම, වතුකරයේ ජීවත් වුණත්, ලැයිම් කාමරයක ජීවත්වීම වෙනුවට ඔවුන්ට ම හිමි ඉඩමක් මෙන් ම, නිවසක් ලබාදීම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කර තිබෙනවා.
     
    ඒ පිළිබඳ ව මේ වන විට සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන්ට නිවසක් ලබා දී තමන්ට ම ගෙවත්තක් ද ලබාදීම අපගේ අරමුණයි. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේදී මා මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළත් එකල ඇතැම් පෞද්ගලික වතු සමාගම් ඊට එකඟ වුණේ නැහැ. නමුත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත එම කාර්යභාරය යළි ක්‍රියාත්මක වීම පිළිබඳ මමත් මහත් සේ සතුටට පත්වෙනවා.
     
    සාමාන්‍ය ජනතාවට මෙන් වතුකරයේ ජනතාව සඳහා මාර්ග, විදුලිය, ජලය වැනි යටිතල පහසුකම් ද ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය ආදිය ලබාදීම කෙරෙහි ද අප රජයේ අවධානය යොමු වී තිබෙනවා.  ඒ නිසා විශාල මුදලක් වැය කරමින් වතුකරය සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති රැසක් මේ වන විටත් දියත් කර හමාරයි.
     
    ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන පුරුකක් වශයෙන් වතුකරය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ තේ ආර්ථික වශයෙන් ඉහළ ඉල්ලුමක් සහිත අපනයන නිෂ්පාදනයකි. අප රටට ශුද්ධ විදේශ විනිමය ලැබෙන ආර්ථික භෝගයක් වශයෙන් තේ හැඳින්වෙන අතර, එම ක්ෂේත්‍රය දිගින් දිගට ම පුළුල් කිරීම සඳහා වතුකරයේ ජනතාවගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්. ඒ නිසා එම දායකත්වය ලබාදෙන ජනතාව කිසිසේත් ම අමතක කළ යුතු නැහැ. එම වැසියන්ට මෙන් ම ඔවුන්ගේ දරු දැරියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද අප රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.
     
    උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන උදය දිසානායක, මංජුල දිසානායක යන මහත්වරුන් ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
     
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya