මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල 2020දී ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 100 අතරට Featured

    ඔක්තෝබර් 15, 2014
    2020 වන විට විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු 100 අතරට ගෙනෙන ඉලක්කය පෙරදැරිව කටයුතු කරමින් සිටින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
     
    මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසලේ පැවති නායකත්ව හැකියා සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පාඨමාලාවේ සිසු සිසුවියන් අමතමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
     
    දරුණු ලෙස අඩපණ වුණු මෙරට උසස් අධ්‍යාපන කෂේත‍්‍රය 2010න් පසුව නැවත පණ ගහමින් අද යළිත් ඉහළට එන බවත් විශ්වවිද්‍යාල ගේට්ටුවේ පටන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව විශ්වවිද්‍යාල නවීකරණය කරමින්, පාඨමාලා අලුත් කරමින්, නව පාඨමාලා හඳුන්වා දෙමින්, විෂයපථයන් පුළුල් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    වේගයෙන් දියුණු වන ආර්ථිකයත් සමඟ රට පෙරට යනවා. ලොව දෙවැනි වේගවත් ම ආර්ථික සංවර්ධනයක් පසුගිය වසරේ අත්කරගත් රට ශ‍්‍රී ලංකාව වශයෙන් අපි අභිමානයෙන් නැගිටිනවා. නමුත් ඒ අතර ලෝකයේ ඉහළ විශ්වවිද්‍යාලවල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කොට තිබුණු ශිෂ්‍යත්ව අද අපිට ලැබෙන්නේ නැහැ. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ අපේ ආර්ථික වර්ධනවේගයයි. අපි යුද්ධයේ අළු දූවිලි ගසා වේගයෙන් නැගිටීම. 
     
    මේ නිසා අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා පිටරට යවන්නට අපි මුදල් වියදම් කරනවා. ඒක අනාගත ආයෝජනයක් බව අපි හොඳින් ම දන්නවා. එබැවින් වසරකට ආචාර්යවරුන් 300ක් පමණ අපේ මුදල් වියදම් කරලා පිටරට යවන්නට කටයුතු කරනවා. එයින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වේගයෙන් ඉහළට එනවා. දරුවන්ට අලුත් ම අලුත් දැනුම, අලුත් විදියකට දෙන්නට අපට හැකියාව ලැබෙනවා. එයින් බිහිවන්නේ ලෝකය සමඟ උරෙන් උර ගැටීමට හැකි දක්ෂ විද්‍යාර්ථීන් පිරිසක්.
     
    අද විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා ම බලාගන්නට පුළුවන් ඒවා විශ්ව අධ්‍යයයන මධ්‍යස්ථාන වශයෙන් වේගයෙන් දියුණු වන ආකාරය. කන්ටේනර් ඇතුළේ පැල්පත්, මඩුවල සිසුන්ට දේශන පැවැත්වූ යුගය අපි අවසන් කරනවා. අද රටේ විශ්වවිද්‍යාල පද්ධතිය වේගවත් සංවර්ධනයකට ලක් වී තිබෙනවා.
     
    2020 වන විට  සරසවි පද්ධතියට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂයක් බවට පත් කිරීමට අපි සැලසුම් සකසා අවසානයි. එයින් අපේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට තිබෙන මාහැඟි අවස්ථාව පුළුල් වෙනවා. රටේ බිහිවන විද්‍යාර්ථීන් ගණන වැඩිවන්නට, වැඩිවන්නට රටේ සංවර්ධනය වේගවත් වීම ඉබේ සිදු වන්නක්. 
     
    බහුතරයකගේ යහපත වෙනුවෙන් සුළුතරයකගේ නොමනා ක‍්‍රියාවන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් කරන්නට අපට අවශ්‍යයි. ඒ කටයුත්ත අති සාර්ථක ලෙස දැන් කෙරීගෙන යනවා. ඒ නිසා දරුවනේ ඔබට නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට, පුස්තකාලය භාවිත කිරීමට, අලුත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පසුබිම අද විශ්වවිද්‍යාල තුළ ක‍්‍රමයෙන් ඇති වෙනවා.
     
    මෙතෙක් කලක් අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තිබුණේ ලෝකයේ අනෙකුත් අය විශේෂයෙන් ම බටහිරයන් නිෂ්පාදනය කළ, ඔවුන් භාවිත කළ දේවල් පරිහරණය කිරීමයි. මගේ දරුවනේ ඒ සංස්කෘතිය අවසන් කරන්නට කාලය දැන් ඇවිත්. අලුත් දේවල් හදලා අලුත් නිර්මාණ කරලා ඒවා පිටරැටියන්ට විකුණන්න පුළුවන් ඔබටයි. 
    මිනිස්සු නොහිතපු නිර්මාණ බිහි විය යුත්තේ ඔබෙන්. 
     
    පසුගිය වසරේ අපේ විශ්වවිද්‍යාල තුළින් බිහි වූ නිර්මාණ සඳහා පේටන්ට් බලපත‍්‍ර 10කට ආසන්න ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බවත් එම ප්‍රමාණය විසි තිස් ගුණයකින් වැඩි කළ යුත්තේ නවක සිසු සිසුවියන් යැයි ද පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ පසුබිම විශ්වවිද්‍යාල පද්ධතියට ලබා දෙන්නට සියලු කටයුතු සිදු කරනවා යනුවෙන් ද පැවසී ය.
     
    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන, ශිෂ්‍ය සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ, මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසලේ සේනා විධායක කර්නල් එම්.පී. කරුණාරත්න ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya