අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය- තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී කාර්ය රාමුව

    ජූලි 25, 2020

    තිරසර සංවර්ධන හා තිරසර සංවර්ධන අරමුණු සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කරන ලද ක්‍රියාකාරී කණ්ඩායම 2020 ජූලි 23 වන බ්‍රහස්පතින්දා දින සිය වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.

    මෙම ඉලක්කවලට නියෝජිතායතන විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වන හෙයින් ද මෙම ඉලක්ක නියෝජිතායතන කිහිපයක විෂය පථයට අයත්වන හෙයින් ද , තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ නායකත්වය සහ දේශපාලන වශයෙන් හැකි ඉහළම මට්ටමේ අධීක්ෂණය අතිශයින්ම වැදගත් වන බව, වාර්තාව ඉදිරිපත් කරමින්, මෙම ක්‍රියාකාරී කමිටුවේ සභාපති විදේශ සබඳතා අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් අහමඩ් ඒ.ජවාඩ් මහතා ප්‍රකාශ කළේය.

    කොවිඩ්-19 සම්බන්ධ තත්ත්වය හමුවේ, කෙටි කාලයක් තුළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායම උද්යෝගී ලෙස කටයුතු කිරීම අගය කළ විදේශ සබඳතා අමාත්‍යාවරයා, සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන මෙම තීරණාත්මක අවස්ථාවේ දී මෙම වාර්තාව වැදගත් වනු ඇතැයි ප්‍රකාශ කළේය.

    තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ මුලසුන හෙබවූයේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් අහමඩ් ඒ.ජවාඩ් මහතා විසිනි. අග්‍රාමාත්‍යවරයාගේ අතිරේක ලේකම් සහ ආර්ථික පුනරුදය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සම ලේකම් ඇන්ටන් පෙරේරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන මණ්ඩලයේ සාමාජික සහ ගාමනී කොරෙයා පදනමේ සභාපති ආචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, රුහුණු විශ්වවිද්‍යාලයේ හා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ හිටපු මහාචාර්ය ආචාර්ය සී.එස්.වීරරත්න සහ නීතිඥ/ සංවර්ධන අංශයේ වෘත්තික හා තිරසර කළමණාකරණය පිළිබඳ කථිකාචාර්ය චාමින්ද්‍රි සපරමාදු යන මහත්ම මහත්මීන්ගෙන් මෙම ක්‍රියාකාරී කණ්ඩායම සමන්විත වෙයි.

    රජයේ හා සමාජයේ සියලුම මට්ටම් හරහා සමතුලිත, පරිපූර්ණ හා ප්‍රායෝගික ආකාරයකින් තිරසර සංවර්ධනයේ ආර්ථික, සමාජීය හා පරිසර පැතිකඩවල් සමෝධානිකරණය කළ හැකි ශක්තිමත් ආයතනික යාන්ත්‍රණයක වැදගත්කම මෙම වාර්තාව අවධාරණය කරන අතර තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා ආයතනික රාමුවක් සැකසීම නිර්දේශ කරයි. තිරසර සංවර්ධන ඉලක්කවල අන්තර් සම්බන්ධිත ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී, එවැනි රාමුවක සංයුතිය සියලු අංශ නියෝජනය වූවක් වීම අවශ්‍ය වන බව එක් නිර්දේශයකි. ඉලක්ක සැලසුම් කිරීම, ඉලක්ක සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම යන ක්‍රියාවලියේදී ව්‍යාපාර, විද්වත් මණ්ඩල, සිවිල් සමාජය, වෘත්තීය සමිති, කාන්තාවන් සහ තරුණ තරුණියන් මෙන්ම ආදිවාසි කණ්ඩායම් ද අර්ථවත් ලෙස සම්බන්ධ කර ගැනීම මෙම ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ සාර්ථකත්වය ශක්තිමත් කරන ඉතා වැදගත් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත.

    පරිවර්තනීය න්‍යාය පත්‍රයක් වන තිරසර සංවර්ධන රාමුව සඳහා, කැඳවුම් බලයක් ඇති සහ සමස්ත රාජ්‍ය හා සමස්ත සමාජ ප්‍රවේශයක් බවට පරිවර්තනය කිරීම සඳහා බහුපාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය වැඩිදියුණු කිරීමට හැකියාවක් ඇති ඉහළම මට්ටමේ භාරකාරත්වයක් අවශ්‍ය වෙයි. පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය, සැලසුම් කිරීම, තිරසර සංවර්ධන ඉලක්ක පෙළගැස්ම, ප්‍රතිපත්ති එකිනෙක ගැලපීම, ජාතික තිරසර සංවර්ධන දර්ශක රාමුව, සමෝධානිකරණය කරන ලද අධීක්ෂණ හා වාර්තාකරණ යාන්ත්‍රණය, ධාරිතා සංවර්ධනය, විකල්ප දත්ත ප්‍රභවයන් භාවිතා කිරීම, මූල්‍ය රාමුවක් සැකසීම, දේශීය සම්පත් සංවිධානය කිරීම, රාජ්‍ය අංශයේ නවොත්පාදන සඳහා ප්‍රමුඛත්වය හා සහාය ලබාදීම සහ ජාතික නවෝත්පාදන නියෝජිතානයක් පිහිටුවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කොට තිබේ.

    “අපේ ලෝකය පරිවර්තනය කිරීම: තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය, 2015 සැප්තැම්බර් 25-27 දිනවලදී නිවියෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රැස්වූ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය නායකයන් හා ආණ්ඩු ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නියෝජිතයින් විසින් සම්මත කරන ලදී. මෙය, සහස්‍ර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මත ගොඩනැගෙන, 2030 වර්ෂය වන විට තිරසර සංවර්ධනය අත්කර ගැනීම සඳහා වන රාමුවකි. මෙම න්‍යාය පත්‍රයට, තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් වන අතර එක් එක් ඉලක්කයක් යටතේ ඉලක්ක හා දර්ශක 169ක් ඇත. තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගණනාවක් ගෙන තිබෙන අතර 2017 අංක 19 දරන තිරසර සංවර්ධන න්‍යාය පත්‍ර පනත පැනවීම සහ තිරසර සංවර්ධන කවුන්සිලය පිහිටුවීම මේ අතර වෙයි. මෙම රාමුවේ අවසාන දශකය වන 2020-2030 “ක්‍රියාකාරී දශකය” මේ වසරේ ආරම්භ විය.

     

    විදේශ සබඳතා අමාත්‍යාංශය

    කොළඹ

     2020 ජුලි 24

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya