අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නවා - සෞඛ්‍ය ඇමතිනිය කියයි

    මාර්තු 11, 2020

    කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරස් රෝගයෙන් මේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමතිනිය වශයෙන් ගතහැකි සෑම පියවරක්ම තමා ගන්නා බවත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.


    රජය විසින් අරඹා ඇති නිරෝධායන වැඩපිළිවෙලට ආත්මාර්ථකාමී නොවී සහාය දෙන්නැයි ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය ආදී රටවලින් පැමිණෙන ගුවන් මගීන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමතිනිය පැවසුවාය.


    අමෙරිකාව, චීනය, ඉතාලිය හා දකුණු කොරියාව වැනි සෞඛ්‍ය පහසුකම් අතින් දියුණුවූ රටවලත් මේ කොරෝනා වෛරස් රෝගය පැතිරීම වළක්වා ගැනීමට නොහැකිවී තිබෙන බව මෙහිදී සඳහන් කළ වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකාවේ මේ රෝගය පැතිරගියහොත් වළක්වාගැනීම ඉතා අසීරු වන බවත්, ඒනිසා දින 14නිරෝධෘයන වැඩපිළිවෙලට එක්වීමෙන් සහාය දෙන ලෙස විදෙස් රටවලසිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් කීවාය.


    යම් හෙයකින් කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්ත වුවහොත් මහජනයා විශාල වශයෙන් ඒකරාශි වන, රැස්වීම් උත්සව ආදිය නතර කිරීමට රජයට සිදුවන බවද ඇමතිනිය තවදුරටත් පැවසුවාය.
    විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශක්තිමත් පුදගලයකු වුවද නිරෝධායනයට ලක් නොවී නිවෙසට ගියහොත්, ඔහුගේ ශරීරයේ කොරෝනා වෛරස් බීජ තිබුනොත් ඒවා එම පුද්ගලයාගේ පවුලේ වැඩිහිටි ප්‍රජාවට හා කුඩා දරුවන්ට ආසාදනය වීමට ඉඩ ඇති බවත් සඳහන් කළ සෞඛ්‍ය ඇමතිනිය මේ නිසා තමන්ගේ පවුලේ අයගේ සෞඛ්‍යය රැකගැනීමට නම් ඔවුන් අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායනයට එක්විය යුතු බවද කීවාය.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනයට ලක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය, යුද හමුදාව, ගුවන් තොටුපොල අධිකාරිය, හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැඩපිළිවෙලක් සකසා තිබෙනවා.


    ඒ අනුව මේ වන විට ඉතාලිය, ඉරානය, හා දකුණු කොරියාවේ සිට පැමිණෙන මගීන් 570ක් මඩකලපුවේ හා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකොට තිබෙනවා. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දියතලාව හා වෙනත් ප්‍රදේශවලද නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya