අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැර දැඩි ආරක්ෂාවක් යටතේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්- පරිසරයට හානිකරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින්න

    ජූලි 31, 2019

    සියලු රාජ්‍ය ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන වල ඒකාබද්ධතාවයෙන් මෙවර ඇසළ පෙරහැරේ සියලු කටයුතු සංවිධානය වන අතර මෙවර පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත.

    මෙම බව අනාවරණය කෙරුණේ 2019 ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය.මාධ්‍ය හමුව අද (ජූලි 31) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා කියා සිටියේ, මෙය 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැත්වෙන අතිශය වැදගත් ආගමික උත්සවයක් බවත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, අභිමානය, සම්ප්‍රදාය යන
    සියල්ල ලොවට විදහා දැක්විය හැකි දෙස් විදෙස් වටිනාකමකින් යුතු වසරේ වැදගත්ම ආගමික උත්සවය මෙය බවත්ය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නරඹන්නන් සදහා සෞඛ්‍ය, ආරක්ෂණ හා පොදු ප්‍රවාහන පහසුකම් මෙවරත් උපරිමයෙන් ලබාදීමට කටයුතු කරන බවයි.

    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැරේ දින වකවානු සිහිපත් කරමින් කියා සිටියේ,  2019 අගෝස්තු මස 02 වන දින අළුයම 05.10ට යෙදෙන සුභ මොහොතින්සිවුමහා දේවාල කේන්ද්‍ර කරගනිමින්  කප් සිටුවා ඇසල පෙරහැර ආරම්භ වන බවයි. එමෙන්ම අගෝස්තු 02 සිට 04 දක්වා සිවුමහා දේවාල තුළ  අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වීමට නියමිත අතර අගෝස්තු 05 වන දින පළමු කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් ප්‍රධාන වීදියට ප්‍රවිශ්ඨ වී වීදි සංචාරය කිරීමට නියමිතව ඇත.

    අගෝස්තු 05 වනදා සිට 09 වනදා රාත්‍රී තෙක් පුරා දින 05ක් කුඹල් පෙරහැර 05ක් වීදි සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහැර 10 වනදා ද අවසන් රන්දෝලි පෙරහැර 14 වනදාද වීදි සංචාරය කරනු ඇත. පසුදා උදෑසන සිවුමහා
    දේවාල කේන්ද්‍ර කරගනිමින් දියකැපීමේ මංගල්‍යය පැවැත්වෙන අතර අගෝස්තු 15 දිවා පෙරහැර පවත්වා ගෙවැදීමෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ. එදිනම සවස පෙරහැර සාර්ථකව පැවැත්වූ බවට සන්දේශය ජනපතිතුමන් හට පිළිගැන්වීම සිදු කරයි.

    සියලු රාජ්‍ය ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන වල ඒකාබද්ධතාවයෙන් මෙවර ඇසළ පෙරහැරේ සියලු කටයුතු සංවිධානය වන අතර මෙවර පෙරහැරේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇත. ඒ සදහා ජනපති, අගමැති හා රජය ප්‍රමුඛව ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව එකමුතුව විශේෂ ආරක්ෂක සැලැස්මක් ගොඩනගා ඇත. මෙවරද ඇසල පෙරහැර මංගල්‍යය වෙනදා මෙන්ම අලි ඇතුන්, කලාකරුවන් හා නර්තන කණ්ඩායම් වලින් විචිත්‍රවත් වන අතර පෙරහැර සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය පරිසරයක්ද සූදානම් කර ඇත. එමෙන්ම මල්වතු අස්ගිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිවුමහා දේවාල වල බස්නායක නිලමේවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් පෙරහැර සැකසෙන අතර පෙරහැරේ වැදගත්කම ජාතයන්තරයටද පිළිබිඹු වන පරිදි කිසිදු අඩුපාඩුවකින් තොරව සම්ප්‍රදානුකූලව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    දියවඩන නිලමේතුමන් පවසන පරිදි පෙරහැරේ විචිත්‍රත්වය එයට සහභාගී වන කලාකරුවන් මත රදා පවතින අතර ඔවුන් දක්වන දායකත්වයද එතුමන් අගයකොට සලකයි. පසුගිය වසර 10කට වැඩි කාලය තුළදී බාලක, තරුණ
    ජවසම්පන්න හා වයෝවෘධ යන කොට්ඨාශ 03 ම නියෝජනය කරමින් පෙරහැරට කලාකරුවන්ගේ දායකත්වයක් සිදුවූ අතර අද පෙරහැරේ සාර්ථකත්වය සදහා මෙම තුන් පාර්ශවයේම දායකත්වය මනා පිටුවහලක් වී ඇත. පෙරහැරේ සාර්ථකත්වය සහ අලංකාරත්වය උරගා බලන අනෙකුත් මිනුම වන්නේ අලි ඇතුන් බව කියා සිටි ප්‍රදීප් නිලංග මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවර පෙරහැරේ දළදා කරඩුව වඩමවනු ලබන්නේ ඉන්දිරාජා හස්තියා විසින් බවයි. අද රටේ හීලෑ අලි ඇතුන් හිග වීම හේතුවෙන් අවම පහසුකම් යටතේ අලි ඇතුන් පෙරහැර සදහා යොදාගෙන ඇත. එමෙන්ම අලි ඇතුන්ගේ ඇදුම් සදහා ආධාර ලැබී ඇති බැවින් මෙවර විශේෂත්වය වන්නේ සෑම අලියෙකුම අලුත් ඇදුමකින් සැරසීමයි. මේ තුළින් විචිත්‍රත්වය වැඩි වීමක් අපේක්ෂා කරයි.


    පෙරහැර කාලය තුළදී විනයගරුකව හැසිරෙන ලෙසත්, ආරක්ෂක අංශ වලට අවැසි සහාය දක්වන ලෙසත්, පරිසරයට හානිකරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකී පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් පෙරහැර නැරඹීමට
    පැමිණෙන බැතිමතුන්ගෙන් දියවඩන නිලමේ වරයා ඉල්ලා සිටියි. ආරක්ෂාව වෙනුවෙන් මෙවර විශේෂ අවදානයක් යොමු කරමින් පොලිස් නිලධාරීන් 6000ක් පමණද, යුධ හමුදාවේ නිලධාරීන් 2000ක් පමණද පෙරහැර
    කාලය තුළ සේවයෙහි යෙදවීමට නියමිතය. එමෙන්ම පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව මාර්ග වලට පිවිසෙන ස්ථාන 4කින් පරීක්ෂා කරවා ආරක්ෂාව තහවුරු කරගත් පසු පෙරහැර වීදි සංචාරය කරවීමට ආරක්ෂක
    අංශ කටයුතු කරයි. පෙරහැරට සම්බන්ද වන සියලු පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු පෙරහැරට ඔවුන් ඇතුව කරගැනීමට නියමිත අතර පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව සතුවද සිය අනන්‍යතාවය තහවුරු කරගත හැකි හැදුනුම්පතක් හෝ ලියවිල්ලක් තිබීම අත්‍යවශ්‍ය වෙයි.


    එතෙක් සජීවී විකාශයකට සීමා වී තිබූ පෙරහැර 2012 වසරේ සිට පොදු විකාශයක් බවට පත්විය. පෙරහැර සජීවී විකාශය දළදා මාළිගාවේ මාධ්‍ය අංශය මගින් මෙහෙයවන අතර සියලුම මාධ්‍ය ආයතන සදහා අවශ්‍ය
    පහසුකම් ලබාගැනීමේ හැකියාවක්ද පවතී. දළදා මාළිගාවේ මහා මළුවේ අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ ෆැක්ස් පහසුකම් වලින් සමන්විත විශේෂිත කුටියක් පවත්වාගෙන යාමට නියමිත අතර එමගින් මාධ්‍යවේදීන් සදහා පහසුකම් ලබාගැනීම් හැකියාවක් ද පවතී.

    මෙම මාධ්‍ය හමුවට  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් රැසක්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya