මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උපාධිධාරීන්ට නිසි ක්‍රමවේදයක් යටතේ රැකියා ලබාදීම අපේ අරමුණයි-” – අධ්‍යාපන අමාත්‍ය

    අගෝස්තු 01, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්නට හැකිවීම ගැන සතුටට පත්වන බවත්, උපාධිධාරීන්ට රැකියා ලබාදීමට 1980 දශකයේ පටන් ම අගමැතිතුමා කටයුතු කළ බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

     අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන උපාධිධාරීන් 16,800කට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ අලුතින් රාජ්‍ය සේවයට බඳවාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1,347ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් කුලියාපිටිය නගර සභා ශාලාවේ ඊයේ(31) පැවති උත්සවයට එක්වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ විශේෂයෙන් ම 2012 සිට 2016 අවසානය දක්වා අභ්‍යන්තර උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ තමයි මේක වෙන්නෙ. තව පියවර කීපයක් ඉදිරියෙදි සිදුවෙනවා. බාහිර උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළත් දැන් අපි සැලසුම් කරගෙන යනවා. ඒත් එක්කම 2016 දෙසැම්බර් සිට 2019 දක්වා වූ උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළත් ඉතා ඉක්මණින් කරගෙන යනවා. 2001 අපි හදපු ආණ්ඩුවෙ උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙළ භාරව හිටියෙ මම. තරුණ අරුණ ආයතනයෙ අධ්‍යක්ෂවරයෙක් වශයෙනුත් මම ඒ කාලෙ හිටියා. අපි හැදුවා උපා‍ධිධාරීන් 50,000කට රැකියා දීමේ වැඩපිළිවෙළක්. ඒ යටතේ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවො අරගෙන. පන්ති සාමාර්ථය අනුව, ශ්‍රේණි අනුව, කරපු එක් එක් විෂයන් අනුව, බාහිර උපාධිධාරින් අනුව පිළිගත් නිශ්චිත ක්‍රමවේදයක් අනුව ඒ බඳවාගැනීම් සිදුකරන්න තියෙද්දි තමයි ආණ්ඩුව විසිරුණේ. අන්තිමට ආපු ආණ්ඩුව ඔක්කොම ටික එකට අරගෙන පත්වීම් දුන්නා. මම නම් දකින්නෙ ඒක අවිධිමත් ක්‍රමවේදයක් විදියට.. අපි මෙවර තීරණය කළා 75%ක් අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නත් ඉන්පස්සෙ සියයට 25ක් බාහිර උපාධිධාරීන්ට ලබාදෙන්නත්. මෙවර අපි බඳවාගන්නා උපාධිධාරීන්ගෙන් 5000ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳවාගන්නවා” යයි ප්‍රකාශ කළේය.

    රාජ්‍ය සේවයේ අද වනවිට ලක්ෂ 15ක් 16ක් සේවකයින් කටයුතු කරන බවත්, රුපියල් දාහක් දෙදාහක් වැනි මුදලකින් වැටුප වැඩිකරගන්නට ඇතැමුන් උද්ඝෝෂණ කළ ද, වත්මන් රජය රුපියල් 10000කින් එකවර රාජ්‍ය සේවක වැටුප වැඩි කළ බව ද. මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    මෙහි දී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, “අපි සුරක්ෂා රක්ෂණය මගින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් ලබාදුන්නා. මෙපමණ කාලයක් මෙහෙණින් වහන්සේලාට හරියාකාර අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නෑ. අපි ඒ අයට පිරිවෙන් අධ්‍යාපනයට අවස්ථාව හදල දුන්නා. දැන් අපි ජාතික පාසල්වල උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දෙනවා. අපි මේ ලබාදෙන්නෙ ඩිජිටල් ගුරුවරයෙක්. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි ස්තුති වෙන්න ඕනෑ.. අපි කැබිනට් පත්‍රිකා 11ක් ගහලයි මේ වැඩේ අනුමත කරගත්තෙ. සාමාන්‍ය පෙළින් අසමත් වෙන දරුවන්ට පහුගිය කාලෙ අනාගතයක් තිබුණෙ නෑ. අපි 13 වසරක අධ්‍යාපන ක්‍රමය හඳුන්වල දුන්නා. ඔවුන්ට දැන් වෘත්තීය විෂයයන් හදාරන්න පුළුවන් උසස් පෙළට. පාසල් දෙදාස්ගානක මේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මකයි. ” යැයි ද පැවසීය.

    ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය ජේ සී අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, කුලියාපිටිය නගරසභාවේ නගරාධිපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya