අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතුකරයේ දරුවන් හා කාන්තාවන් හිංසාවෙන් වළක්වා ගැනීමට පියවර

    මාර්තු 31, 2014

    වතුකරයේ දරුවන් විවිධ හේතු නිසා අපයෝජනයට ලක්වීම මෙන්ම  කාන්තාවන් හිංසාවට පත්වීමෙන්  මුදවා ගැනීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මධ්‍යම පළාත තුළ නව වැඩසටහනක් අරඹයි.ඒ අනුව මධ්‍යම පළාත තුළ පිහිටි සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මූලික කරගෙන  " ළමා හා කාන්තා සංවර්ධන ඒකක" ආරම්භ කෙරේ.

    එහි  සමාරම්භක උත්සවය පසුගිය දා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.

     

    ඒ යටතේ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිටින අවදානමට ලක් වූ කාන්තාවන් හා දරුවන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින සියලු ම ගැහැණු හා පිරිමි දරුවන්, වැන්දඹුවන් හා ගෘහමූලික කාන්තාවන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ළමුන් හා කාන්තාවන්ගේ සංවර්ධනය ද ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ම අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ඒකකය වනිතා සංවර්ධන නිලධාරී, සහන සොහොයුරිය, මුල් ළමාවිය සංවර්ධන සහකාර, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, උපදේශන නිලධාරී, ජාතික ළමා රක්ෂක අධිකාරියේ මනෝ දිස්ත්‍රික් සම්බන්ධීකාරක යන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත වේ.


    ළමා අපයෝජන හා කාන්තා හිංසන පිළිබඳව දැඩි අවධානයක් යොමුකර කඩිනමින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් දියත් කරන ලෙස ඉකුත් 2012 වසරේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබාදීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම  "ළමා හා කාන්තා සංවර්ධන ඒකක" පිහිටුවීමට පියවර ගෙන තිබේ.

     

    මීට අමතරව 2011 – 2016 මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ ජාතික සැලැස්ම මගින් ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර රාශියක් හඳුනාගෙන ඇත. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ක්‍රියාත්මක කරනු ලබන සියලු ම ළමා හා කාන්තා සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීමේ යාවත්කාලීන කිරීමේ කටයුතු ද මෙම නව ඒකක හරහා සිදුකිරීමට නියමිතය. අදාළ කටයුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින ළමා හා කාන්තා විෂයන් භාර අමාත්‍යාංශයීය ක්ෂේත්‍ර නිලධාරීන් 750ක ගේ දායකත්වයෙන් සිදුකෙරේ.


    මෙම ඒකක සඳහා අවශ්‍ය ම සියලු ම භෞතික සම්පත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි. සැමියන්ගේ නූගත්කම, බීමත්කම ආදී විවිධ හේතු නිසා වතුකරයේ  ඇතැම් කාන්තාවන්ට සිදුවන හිංසා පීඩා අවම කිරීමේ අරමුණින් වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, වළපනේ, හඟුරන්කෙත, කොත්මළේ යන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම ඒකක කඩිනමින් ස්ථාපිත කෙරේ. ඒ අනුව අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් ක්ෂේත්‍රයට ගොස් දරුවන් හා කාන්තාවන් පිළිබඳ තොරතුරු රැස්කර එම තොරතුරු අනුව අවශ්‍ය කටයුතු සිදුකිරීමේ ප්‍රායෝගික සාර්ථක වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.


    සමාජයේ පැවැත්මට කාන්තාව විසින් අමිල මෙහෙවරක් සිදුකරන බවත්, ඇයගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් කටයුතු කිරීම ද සමාජයේ යුතුකමකට වඩා වගකීමක් බව ද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා සංවර්ධන ඒකකය පිහිටුවීමට සමඟාමීව පැවති උත්සවයේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා කීය. මෙම වැඩසටහනකට සමඟාමීව නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා දින උත්සවය ද එහි පැවැත්විණි.

     

    මෙහිදී නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන්, නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්ප්‍රියගේ, නුවරඑළිය අතිරේක දිසාපති මල්ලිකා අමරසේකර යන මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්ත, ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂිකා ආර්.චූලානන්ද යන මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya