මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංවර්ධනය පළාත් සභා සමඟ නව සංස්කෘතියකට ගෙන යාමට අවශ්‍යයි Featured

    ජූලි 24, 2014
    පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ සමුළුව පවත්වා ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ධීවර සංවර්ධනය පළාත් සභා සමඟ නව සංස්කෘතියකට ගෙන යාම ධීවර අමාත්‍යතුමාගේ අදහස වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක මහතා පැවසීය.


    ලේකම්වරයා මෙසේ ප‍්‍රකාශ කළේ පසුගියදා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා නිලධාරින්ගේ විශේෂ සාකච්ඡාවේදීය.

     

    මෙම සාකච්ඡාව සඳහා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, මධ්‍යම, වයඹ, උතුරු මැද, සබරගමුව හා ඌව පළාත් ධීවර අමාත්‍යංශ ලේකම්වරුන් හා අමාත්‍යාංශ නිලධාරීන් සියලු දෙනා සහභාගි වූහ.

     

    මෙම විශේෂ සාකච්ඡාවේ අරමුණ වූයේ අමාත්‍යාංශ ප‍්‍රතිපාදන පළාත් මට්ටමින් ධීවර සංවර්ධනය සඳහා පළාත් ධීවර අමාත්‍යාංශවලට වෙන්කර දීමටයි. මේ අනුව ආරම්භයක් ලෙස 2014 වසර සඳහා එක් පළාතකට රුපියල් ලක්‍ෂ 10 බැගින් ලබාදීමට ධීවර අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. පළාත් ධීවර අමාත්‍යාංශ විසින් පළාතේ ධීවර සංවර්ධනය සඳහා ධීවර අමාත්‍යාංශයට ලබාදී ඇති ලැයිස්තුවල ප‍්‍රමුඛතාව මත එකී ධීවර කටයුතු සඳහා ප‍්‍රතිපාදන ලබාදෙනු ඇත. මෙහි දෙවන පියවර ලෙස 2015 අයවැය යෝජනා යටතේ එක් පළාතකට ධීවර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 50ක මුදලක් මුදල් අමාත්‍යාංශය මඟින් වෙන්කර ගැනීමට යෝජනා කිරීමට ධීවර අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ද ලේකම්වරයා පැවසීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද පැවසීය. "2014 ජූලි 01දා පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ සමුළුව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැත්වූයේ ධීවර සංවර්ධනය සඳහා පළාත් මට්ටමින් මුදල් ප‍්‍රතිපාදන බෙදාහරිමින් පළාත් ධීවර අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශයේ ක‍්‍රියාශිලීව සම්බන්ධ කර ගැනීමටයි. එය එදා සාර්ථක වුණා. එහි පළමු පියවර ලෙස අද පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු කැඳවා එක් පළාතකට ආරම්භයක් ලෙස රුපියල් මිලියන 01 බැගින් ධීවර සංවර්ධනයට ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ඔබ ඔබගේ පළාත ආශ‍්‍රිතව ඉදිරිපත් කර ඇති ධීවර සංවර්ධන ව්‍යාපෘතිවලින් ප‍්‍රමුඛතාව අනුව තෝරාගත් ව්‍යාපෘති මේ වසරේදී ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපාදන ලබාදෙනවා. ලබන වසරේ අයවැය යෝජනා සඳහා ධීවර සංවර්ධනයට එක් පළාතක් වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදල් ප‍්‍රතිපාදනයක් මුදල් අමාත්‍යාංශය හරහා වෙන්කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එකී මුදල් ඔබගේ පළාතේ ධීවර අමාත්‍යතුමා හා පළාත් ධීවර අමාත්‍යාංශයේ නායකත්වයෙන්, අප අමාත්‍යාංශ අනුබද්ධ ආයතනවල සහයෝගයෙන් ධීවර සංවර්ධන කටයුතු ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. 

     

    අප ක‍්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ නිසා පළාතේ ධීවර කටයුතු තිරසාර සංවර්ධනයක් වෙත යොමු කිරීමට හැකි වෙනවා. මේ තුළින් අමාත්‍යවරයා අපේක්‍ෂා කරන්නේ අපගේ සමස්ත ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීමයි. ඒ වගේම අපේ ධීවරයා ශක්තිමත් කිරීමත් ධීවර පවුල් නගාසිටුවීමත් ධීවර දරුවන්ගේ අධ්‍යාපනය සවිමත් කරමින් ඔවුන්ට හොඳ යහපත් අනාගතයක් උදාකර දීමටත් බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

     

    මෙහිදී පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුද අදහස් දැක්වීය. ඔවුන්ගේ අදහස වූයේ ධීවර අමාත්‍යතුමා විසින් පළාත් ධීවර අමාත්‍යවරුන්ට හා අමාත්‍යාංශවලට ගෞරවනීය ස්ථානයක් ලබාදීම නිසා අද රට පුරාම ජනතාව පළාතේ ධීවර අමාත්‍යාංශය ගැන කතා කරන බවය. ඒ නිසා මෙතෙක් කලක් පැත්තකට දමා තිබු පළාත් ධීවර අමාත්‍යාංශවලට හොඳ වටිනාකමක් ලැබී ඇති බවයි. ඒ සඳහා පෙරමුණ ගත් ධීවර අමාත්‍යවරයාට ප‍්‍රණාමය පුද කරන බවද ඔවුහු පැවසූහ. එම නිසා මධ්‍යම රජයේ ධීවර අමාත්‍යාංශය ගත් මෙම පියවර සාර්ථක කර ගැනීමට තම පූර්ණ සහයෝගය හා දායකත්වය ලබාදෙන බවද ඔවුහු පැවසුහ.

     

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) පී.එච්.ජී. කිත්සිරි, අතිරේක ලේකම් (සංවර්ධන) අසංක අබේගුණවර්ධන, ප‍්‍රධාන ගණකාධිකාරී ආර්.එස්. රාජපක්‍ෂ, ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම යන මහත්වරුන් ඇතුළු පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් හා නිලධාරීහු සහභාගි වූහ.
     
    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya