මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිරාජ්‍යවාදයෙන් සහ ත්‍රස්තවාදයෙන් ස්ථිර නිදහසක් ලත් ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා Featured

    ජූලි 21, 2014

    අධිරාජ්‍යවාදයෙන් සහ තිස් අවුරුදු යුද්ධයෙන් ස්ථිරසාර නිදහසක් උදාකර ගත් ශ්‍රී ලංකාව මේ වන විට ශීඝ්‍ර සංවර්ධනයක් කරා යොමුවී සිටින බවත්, ඕනෑම අයෙකුට එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවත්, අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පැවසීය.


    විවිධ බලවේගයන් ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට බාධා කළත් ඒ සියලු බාධක හමුවේ අප ලැබූ ජයග්‍රහණය කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි යැයි ද අග්‍රාමාත්‍යතුමා කීවේය.දෙදින නිල සංවාරයක් සඳහා මෙරටට පැමිණි පෘතුගාලයේ අග්‍රාමාත්‍ය පෙද්රෝ පැසෝස් කොඑල්ගෝ (Pedro Passos Coelho) මැතිතුමා ඊයේ (20) විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා හමුවූ අතර, එහිදී මෙරට අග්‍රාමාත්‍යතුමා මේ බව කීවේය.


    ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කිරීමේදී මුලින්ම පෘතුගීසීන්ද පසුව ලන්දේසී සහ ඉංග්‍රීසී ජාතිකයන්ගේ යටත් විජිතයක් බවට පත්වුවත්, අප ලැබූ නිදහස මෙන්ම වර්තමානයේ ලැබූ සංවර්ධනය කිසිවකුටත් සම කළ නොහැකි යැයි අග්‍රාමාත්‍යතුමා කීවේය.

    එපමණක් නොව තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට මුදා ගැනීමෙන් පසු රට තවදුරටත් සංවර්ධනයට යොමුවී තිබෙන බව ද අග්‍රාමාත්‍යතුමා කීවේය.  සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් පමණක් නො ව බර්ගර් හා මැලේ යන ජාතිකයන් පවා මේ වන විට මහත් සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත්, කිසිදු හේතුවක් නිසාවත් කිසිදු ජාතියකට හානි කරන තත්ත්වයක් මෙරට නොපවතින බවත් එතුමා කීවේය.

    යුද්ධය හේතුවෙන් විනාශයට පත් උතුරු නැගෙනහිර ප්‍රදේශ මේ වන විට සංවර්ධනයට පත් කර ඇතැයි කී අග්‍රාමාත්‍යතුමා ඒ සංවර්ධනය මේ මෙහොතේදී පවා නිරීක්ෂණය කිරීමේ නිදහස ඕනැම අයෙකුට හිමි වන්නේ යැයි කීවේය. විවිධ මානව හිමිකම් සංවිධාන ජාත්‍යන්තරයේ සිට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන්නේ මෙරට යථා තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා යැයි කී අග්‍රාමාත්‍යතුමා මෙරට සැබෑ ජාතික නිදහස දන්නේ බාහිර බලවේගයන් නො ව මෙරට ජීවත් වන ජනතාව යැයි ද කීවේය.


    පෘතුගාල අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් දෙරටේ සබඳතා ඉදිරියට පවත්ව ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබා දීමට ජනාධිපතිතුමා සෑම විටකම සූදානමින් සිටින බව  අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා වැඩිදුරටත් පැවසීය.
     

    පෘතුගාලයේ අග්‍රාමාත්‍යතුමා අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අවස්ථාව හිමිවීම පිළිබඳව සතුටට පත් වන බව කීවේය. එමෙන්ම පෘතුගාලය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, දෙරට අතරේ නව සබඳතා ආරම්භ කර ගැනීමටත් අපේක්ෂා කරන බව ද ඒ මහතා කීවේය. ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවීය වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ද තම රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යතුමා තව දුරටත් පැවසීය.

    විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පෘතුගාල් අග්‍රාමාත්‍ය උපදේශක ගිල්බර්ටෝ ජෙරෝනිමෝ, පෘතුගාල් අනේවාසික තානාපති ජෝර්ජ් රෝසා ඕලිවෙයිරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහානාම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya