මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමට අන්තර්ජාතික ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත් කෙරේ Featured

    ජූලි 17, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට උපදෙස් දීම සඳහා අදාළ විෂයය පිළිබඳ අන්තර්ජාතික කීර්තියට පත් විශේෂඥයන් තිදෙනෙකු පත් කර තිබේ.


    මහාමාන්‍ය ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා (රාජ නීතීඥ) (Sir Desmond de Silva, QC) සභාපති ධූරයට නම් කරනු ලැබ සිටී. මහාචාර්ය ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් (රාජ නීතීඥ) (Sir Geoffrey Nice, QC) සහ මහාචාර්ය ඩේවිඩ් කේ‍්‍රන් (Prof. David Crane) සෙසු සාමාජිකයෝ වෙති.


    කොමිසමට පැවරී ඇති කාර්යභාරය වඩාත් සාර්ථකව ඉටු කිරීම සඳහා නීතිය ඇතුළු අදාළ විෂයය ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රාමාණික දැනුමක් සහ පුළුල් අත්දැකීම් සහිත විශේෂඥයන්ගේ සේවය වඩාත් ඵලදායී වනු ඇතැයි නිගමනය කළ ජනාධිපතිතුමා, කොමිසමේ කාර්යභාරය හා විෂය පථය පුළුල් කිරීමට තීරණය කළේය.


    මහාමාන්‍ය, රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා

    මහාමාන්‍ය, රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතිය ගැන හසළ දැනුමක් ඇති විද්වතෙකි. එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් මහතා විසින් වරක් එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණයක ප‍්‍රධාන අභිචෝදක ලෙස පෞද්ගලිකවම ඔහු තෝරාගනු ලැබීය. ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ ආදි කතුවරයෙකු හා දෙවැනි ලෝක යුධ සමයේ සෞඛ්‍ය ඇමතිවරයා වූ අභාවප‍්‍රාප්ත ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාගේ මුණුපුරා වේ. ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් මහතාගේ පියා වූ ෆ්‍රෙඩ් ඊ. ද සිල්වා මහතා මහනුවර මන්ත‍්‍රීවරයා ලෙස සිය පියා වූ ජෝර්ජ් මහතා අනුව යමින් ප‍්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ධුරය හෙබවීය.


    ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් මහතා ලන්ඩන් නුවර නීති වෘත්තියෙහි විශාල කාර්යභාරයක් ඉටුකර ඇත. ඔහු කීර්තිමත් රාජ නීතීඥ ශ‍්‍රීමත් ඩිංගල් ෆූට් මහතා නායකත්වය හෙබ වූ ලන්ඩන් හි පැරණිතම අධිකරණ මණ්ඩලයක වසර 25ක කාලයක් ප‍්‍රධානියාව සිටියේ ය. සිය පියා සහ සීයා මෙන් නීතී වෘත්තියෙහි නොමැකෙන සටහන් තැබූ ඔහු අන්තර්ජාතික නීති ක්ෂේත‍්‍රයට කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2007 දී බි‍්‍රතාන්‍ය රැජන විසින් නයිට් නාමයෙන් පිදුම් ලැබීය. ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් මහතා 2011 දී රාජකීය ප‍්‍රිවි කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කෙරිණ. ගත වූ දශකය ඇතුළත ඔහුගේ පළල් පරිචයට රාජ්‍යයන් රාජ්‍ය සහ ආණ්ඩු නායකයන් සම්බන්ධ සිද්ධි අයත් විය. මරණ දඬුවමට නියමව සිටි විත්තිකරුවෙකු කෙන්යාවේ දී නිදහස් කර ගැනීමෙන් ඔහු ඉමහත් කීර්තියක් හිමිකර ගත්තේ ය. එසේ නිදහස ලැබූ තැනැත්තා පසුව කෙන්යාවේ අන්තිම අගමැතිවරයා ලෙස පත් විය.


    ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් මහතා බි‍්‍රතාන්‍ය නීතිඥ වෘත්තියෙහි අන් කවර හෝ සාමාජිකයෙකුට වැඩියෙන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ මරණ දඬුවමට නියම වූවන් නිදහස් කර ගෙන ඇතැයි ලන්ඩන් ටයිම්ස් පුවත්පත වරක් සඳහන් කළේය. බි‍්‍රතාන්‍ය රජය 2010 දී බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක සේවා සහ අයි.ආර්.ඒ. ව්‍යාපාරය සමග ගැටුමේ දී බි‍්‍රතාන්‍ය හමුදා උතුරු අයර්ලන්තයේ දී ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ විමර්ශන මණ්ඩලයක සභාපති ධූරයට ශ‍්‍රීමත් ඩෙස්මන්ඩ් මහතා නම් කළේය.


    මහාචාර්ය රාජ නීතීඥ ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් මහතා

    මහාචාර්ය රාජ නීතීඥ ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් ලන්ඩන් හි අන්තර්ජාතික නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහු සර්බියාවේ හිටපු ජනාධිපති අභාවප‍්‍රාප්ත මිලොසෙවික් මහතා පිළිබඳ හේග් අධිකරණයේ නායක අභිචෝදක විය. මහාචාර්ය නයිස් අන්තර්ජාතික අපරාධ අධිකරණ පිළිබඳ සැලකිය යුතු පළපුරුද්දක් සහිත විශිෂ්ට අන්තර්ජාතික නීතිවේදියෙකි.


    මහාචාර්ය ඩේවිඩ් කේ‍්‍රන් මහතා

    මහාචාර්ය ඩේවිඩ් කේ‍්‍රන් සියරා ලියොන් පිළිබඳ විශේෂ අධිකරණයේ ප‍්‍රධාන අභිචෝදක ලෙස හිටපු මහ ලේකම් කොෆී අනන් විසින් පෞද්ගලිකවම තෝරාගනු ලැබූවෙකි. ඔහු ඒ සඳහා පත් කරනු ලැබූයේ එක්සත් ජාතීන්ගේ විෂය භාර මහ ලේකම්වරයෙකුගේ මට්ටමෙනි. යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් දැනට වසර 50ක සිරදඬුවමක් විඳිමින් සිටින ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් අත්අඩංගුවට ගැනීම, ඔහුට චෝදනා ගොනු කිරීම සහ නඩුව විභාග කිරීම යන කාර්යයන් හි ප‍්‍රධාන වගකීම් ඔහු විසින් ඉටුකරන ලදී. මහාචාර්ය කේ‍්‍රන් ඇමරිකානු හමුදා අංශවල සැලකිය යුතු අත්දැකීම් ඇත්තෙකි. මහාචාර්ය කේ‍්‍රන් 2014 ජුනි මාසයේ දී ශ‍්‍රීමත් ඩෙස්මන්ඞ් මහතා සමග එක්ව සිරියාවේ රැඳවුම් කඳවුරු සාමාජිකයන් ඝාතනය සහ ඔවුන්ට වද හිංසා කිරීමේ චෝදනා පිළිබඳ ජිනීවා මානව හිමිකම් මණ්ඩල විමර්ශනයට සහය විය.


    අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව ප‍්‍රකාර ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබීය. 2009 මැයි 19 වැනි දින අවසන් වූ අභ්‍යන්තර සන්නද්ධ ගැටුම පැවති කාලය තුළ සිවිල් ජීවිත නැති වීමට බලපෑ ප‍්‍රධාන සාධක සහ තත්ත්වයන් විමර්ශනය කොට කිසියම් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් ඊට ඍජුව හෝ වක‍්‍රව ඊට වගකිව යුතු දැයි සොයා බැලීමට හැකි වන අයුරින් කොමිසමේ විෂය පථය ජනාධිපතිතුමා විසින් පුළුල් කෙරිණ. රාජ්‍ය නොවන ක‍්‍රියාකාරිකයෙකු ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය හමුදා මෙහෙයුම් සිදු කිරීමේ දී අන්තර්ජාතික මානුෂවාදී නීතියට යටත් වන්නේ ද යන්නත් මෙහිදී සොයා බැලේ.

     

    HC/NP_PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya