අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර මදුරු මර්දන තෙවන මෙහෙයුම ඊයේ සිට

    ජූලි 09, 2014
    බස්නාහිර පළාත් මදුරු මර්දන වැඩසටහනේ තෙවන මෙහෙයුම ඊයේ (08) ආරම්භ කළ අතර එහි පරිශ‍්‍ර පරීක්ෂාව සඳහා කණ්ඩායම් 966ක් යොදවා ඇත.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකාය එක්ව මෙම මදුරු මර්දන මෙහෙයුම ලබන 10 දින දක්වා ක‍්‍රියාත්මක කරයි.

    පසුගිය කාලය තුළ ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් අදියර කිහිපයක් යටතේ මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් දී තිබිණි. ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර යටතේ බස්නාහිර පළාතේ නිවාස හා පරිශ‍්‍ර 255,000ක් පමණ පරීක්ෂාවට ලක් කෙරිණි. එම වැඩපිළිවෙළේ තුන්වන අදියර මේ වන විට ක‍්‍රියාත්මක වේ.

    බස්නාහිර පළාත ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක වන මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන යටතේ කොළඹ නගර සභා සීමාව තුළ නිවාස හා පරිශ‍්‍ර පරීක්ෂාවට කණ්ඩායම් 300කුත්, කොළඹ දිස්ත‍්‍රිත්කයේ සෙසු ප‍්‍රදේශ පරීක්ෂාවට කණ්ඩායම් 356කුත්, ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා කණ්ඩායම් 186කුත්, කළුතර දිස්ත‍්‍රික්කය සඳහා කණ්ඩායම් 50කුත් යොදවනු ලැබ ඇත. මෙම කණ්ඩායම්වලට ත‍්‍රිවිධ හමුදාව, පොලිස් පාරිසරික ඒකකය සහ සිවිල් ආරක්ෂක බලකාය සහයෝගය ලබා දෙන අතර විශේෂයෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ කටයුතුවලට ශ‍්‍රී ලංකා යුද හමුදාව ද ගම්පහ දිස්ත‍්‍රික්කය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවත්, කළුතර දිස්ත‍්‍රික්කයේ මදුරු මර්දන කටයුතු සඳහා නාවික හමුදාවත් සහයෝගය ලබා දෙති. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ සහ පොලිස් පාරිසරික ඒකකයේ නිලධාරියෙකු බැගින් ද යොදවනු ලැබ ඇත.

    පසුගිය දින කිහිපය තුළ ක‍්‍රියාත්මක කරන ලද පළවන සහ දෙවන අදියරේ මදුරු මර්දන කටයුතුවල සාර්ථකත්වය නිසා මේ වන විට බස්නාහිර පළාතේ අධි අවදානම් කලාපවල මදුරු ඝනත්වයේ අඩුවීමක් දක්නට ලැබේ. එම නිසා මෙම විශේෂ මදුරු මර්දන වැඩපිළිවෙළ අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීම මඟින් ඩෙංගු රෝගය පාලනය කිරීමටත්, වාර්තාවන ඩෙංගු රෝගීන් ප‍්‍රමාණය අවම කර ගැනීමටත් හැකි බව සනාථ වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම නිසා නිලධාරීන් නිවසට හෝ පරිශ‍්‍රයට පැමිණෙන තෙක් බලා නොසිට තමන් ස්වෙච්ඡාවෙන් ජාතික වගකීමක් ලෙස සලකා මදුරුවන් බෝවන ස්ථාන සොයා ඒවා ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලයි.

    මෙම වසරේ ගත වූ මාස 06 තුළ ඩෙංගු රෝගීන් 19,445ක් පමණ වාර්තා වී ඇත. ඩෙංගු නිසා සිදු වූ මරණ ප‍්‍රමාණයේ ශීඝ‍්‍ර අවමවීමක් දක්නට ලැබෙන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.  

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya