අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර කර්මාන්තයේ ආශ්චර්යක් වෙනුවෙන් ධීවර අමාත්‍යවරුන් එක් විය යුතුයි

    ජූලි 06, 2014

    මෙරට ධීවර කර්මාන්තයේ ආශ්චර්යමත් පුනරුදයක් ඇති කිරීමට නම් අපේ රටේ පළාත් නවයේම සිටින ධීවර අමාත්‍යවරුන් සමඟ එක්ව සහයෝගයෙන්, සහජීවනයෙන් කටයුතු කරමින් සියලු ම සම්පත් බෙදා හදාගෙන කටයුතු කළ යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 


    ඒ සඳහා පළාත් සභා ධීවර අමාත්‍යවරුන්ට කළ හැකි කාර්යභාරය අති විශාල බවත්, එම දායකත්වය  අපේ ධීවර කර්මාන්තයට ලබාගෙන අපේ ධීවර කර්මාන්තය මුළු රට පුරාම එක හා සමානව සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසුවේ පසුගියදා තලවතුගොඩ, ග‍්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේ පැවති පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ පළමු සම්මේලනය අමතමිනි. 

     ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමුළුවට බස්නාහිර, දකුණ, උතුරු, නැගෙනහිර, වයඹ හා ඌව පළාත් සභාවල ධීවර විෂය භාර අමාත්‍යවරු 5 දෙනෙකු සහභාගි වු අතර අනෙකුත් පළාත්වල ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහභාගි වූහ. මීට අමතරව පළාත් ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ද සහභාගි වූහ.


     
     ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මධ්‍යම රජය හා පළාත් ධීවර අමාත්‍යාංශ අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාව වැඩි දියුණු කිරීමත්, ධීවර හා ජලජ සම්පත් විෂය මනා කළමණාකාරීත්වයකින් යුතුව සංවර්ධනය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම පළාත් ධීවර අමාත්‍යවරුන්ගේ මංගල සම්මේලනය සාර්ථකව පැවැත්වුණි. 

     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ; බලය බෙදීම නිසා  ඕනෙම රටක් දියුණු දියුණු වෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පෙඩරල් ක‍්‍රමය මඟින් මේ රට දියුණු කරන්න හැකි බවට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේදී ප‍්‍රකාශ කළා. 


    ඒ ඒ පළාත්වල ධීවර කටයුතු සංවර්ධනය කිරීමට පළාත් ධීවර අමාත්‍යවරුන් ප‍්‍රමුඛ නිලධාරීන්ට හැකියි. මේ වන විට ධීවර කර්මාන්තයේ දියුණුවක් ලබා තිබෙනවා. මම 2009 දී ධීවර අමාත්‍යාංශය භාරගන්න කොට වාර්ෂික මත්ස්‍ය අස්වැන්න මෙට්රික් ටොන් 339,730ක් වුණා. එය 2013 වන විට මෙට්රික් ටොන් 512,840ක් එනම් 51% කින් ඉහළ ගොස් තියෙනවා. මේ නිසා මාළු අස්වැන්න ඉහළ ගොස් තියෙනවා.
     
    මේ වන විට මාළු ආනයනය 19% කින් අඩු කර තිබෙනවා. ඒ වගේම අපේ මත්ස්‍ය අපනයනය ඉහළ ගොස් තිබෙන නිසා මාළු මිලෙහි අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ වගේම උම්බලකඩ 44% කින් හා කරවල 26% කින් ආනයනය අඩු කිරීමට හැකි වී තිබෙනවා. දිවි නැඟුම යටතේ මේවා නිෂ්පාදනය කරන නිසා ආනයනයේ අඩුවක් පවතීනවා. ඒ වගේම ඒකපුද්ගල දෛනික මාළු පරිභෝජනය 2009 දී ග‍්‍රෑම් 28ක්ව පැවති අතර එය අද වන විට ග‍්‍රෑම් 41.3 ක් දක්වා 32% කින් ඉහළ නංවාලීමට හැකිවී තියෙනවා. මාළු පරිභෝජනය මන්දපෝෂණය නැති කරන්න හොඳ ආයුධයක්. ඒ සඳහා දිනකට ග‍්‍රෑම් 60ක් දක්වා මාළු පරිභෝජනයට ගත යුතු අතර 2016 වන විට ඒ මට්ටම දක්වා වැඩි කිරීම මගේ අරමුණයි. ඒ සඳහා අපි මේ වන විටත් වැඩ පිළිවෙළක් යොදා තියෙනවා. එය යථාර්ථයක් බවට පත් කරගන්න පළාත් ධීවර අමාත්‍යවරුන් වන ඔබගේ පූර්ණ සහයෝගය අවශ්‍ය වෙනවා. මෙම සමුළුවේත් අරමුණ වන්නේ අපේ ධීවර කර්මාන්තය පළාත් මට්ටමෙනුත් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට. පළාත් අමාත්‍යවරුන් වන ඔබගේ හා පළාත් සභාවේ සහයෝගය අරගෙන මේ රටේ ධීවර කර්මාන්තය එක හා සමානව සංවර්ධනය කිරීමයි. 
     

     ඉන්දියානු සාගරයේ මත්ස්‍ය සම්පතින් සියයට 48ක් නෙළා ගන්නේ බටහිර රටවල් හා යුරෝපීය රාජ්‍යයන් විසිනුයි. මේ නිසා ඉන්දීය සාගර කලාපයේ රටවල් වන අප සතු වන්නේ 52% ක ප‍්‍රමාණයක් පමණයි. 2009 ට සාපේක්ෂව අපේ මාළු අපනයනය 51% කින් ඉහළ ගොස් තියෙනවා. 2009 දී අපි මාළු මෙට්රික් ටොන් 21,015ක් අපනයනය කළා. එය 2013 දී මෙට්රික් ටොන් 31,292ක් වුණා.ඒ වගේම අපේ ටූනා මත්ස්‍ය අපනයනය මෙට්රික් ටොන් 5,214 සිට මෙට්රික් ටොන් 11,814ක් දක්වා සියයට 110 කින් වැඩි වෙලා තියෙනවා. අපි මේ වන විට ධීවර වරායවල් 04ක් ඉදිකර අවසන්. තවත් ධීවර වරාවල් 13ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. නැංගුරම් පොළවල් 33 සිට 56 දක්වා ඉහළ නංවාලීමට කටයුතු කර තියෙනවා. මේ වන විට නැංගුරම් පොළවල් 07ක් හැදෙමින් පවතීනවා. වර්ෂ 2009 දී ධීවර සංස්ථාවේ මාළු අලෙවිසැල් තිබුණේ 48 යි. අද එය 137ක් දක්වා වැඩි කරල තියෙනවා. අපි ගෙවීගිය කාලය තුළ කළ මේ සංවර්ධනය තවදුරටත් යථාර්ථයක් කරන්න පළාත් ධීවර අමාත්‍යවරුන් වන ඔබගේ පූර්ණ දායකත්වය අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි ඒ ඒ පළාත්වල ධීවර සංවර්ධන කටයුතු කරන කොට ඉදිරියේදී ඔබගේ සහභාගිත්වයෙන් තමයි කරන්නේ.” යැයි පැවසීය. 


     මේ අවස්ථාවට අමාත්‍ය පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, බස්නාහිර පළාත් ධීවර අමාත්‍ය නිමල් ලන්සා, දකුණු පළාත් ධීවර අමාත්‍ය රෝහණ ප‍්‍රිය උපුල්, උතුරු පළාත් ධීවර අමාත්‍ය බාලසුබ‍්‍රමනියම් දිනේෂ්වරන්, නැගෙනහිර පළාත් ධීවර අමාත්‍ය හමීඩ් රසීන් නසීඩ්, වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ධීවර අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයන්හි නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya