මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ජනතාවට ප්‍රතිලාභ හිමිවන වැදගත් යෝජනාවලට ජනාධිපතිතුමා එකඟයි

    ජූනි 20, 2014

    රටේ ජනතාවට ප්‍රතිලාභ හිමිවන වැදගත් යෝජනා ඉදිරිපත් කරන විට අතිගරු ජනාධිපතිතුමන් ඒ සඳහා එකඟ වුවත්, ආර්ථිකය පාලනය කරන ඇතැම් කණ්ඩායම් එවැනි යෝජනා සඳහා එකඟ කරගැනීම අසීරුවී තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා‍ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.


    ජනතාවට ප්‍රතිලාභ හිමිවන යෝජනාවලදී උණු නොවන මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ හදවත් කිරිපිටි සමාගම්වලින් කිරිපිටි මිල වැඩි කිරීමට ඉල්ලා සිටි විගස ඉතා වේගයෙන් උණුවන බවත් එය එම හදවත්වල තිබෙන ප්‍රශ්නයක් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2014 (Construction Expo – 2014) ඉදිකිරීම් කර්මාන්ත, ගොඩනැගිලි ද්‍රව්‍ය හා ගෘහ අලංකරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට ප්‍රධාන අරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙම උත්සවය අද (20) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණ.


    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ අමාත්‍යවරයා “ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ඉක්ට්‍රෑඩ්) අධිකාරියක් බවට පත්කරන පනතට මම වගන්තියක් ඇතුළත් කළා. යම්කිසි විදේශ ඉදිකිරීම් සමාගම් ලංකාවට එනවා නම් දේශීය හවුල්කරුවෙක් අනිවාර්යයෙන් සිටිය යුතුයි කියලා. නමුත් අපේ මුදල් අමාත්‍යාංශයේ මේ රටට ආදරය කරන පිංවන්ත ඇතැම් නිලධාරි මහත්වරු ඉතා තදින් ඒ අදහස සමග ගැටුණා. ඔවුන් කියන්න ගත්තා මේ ණය දෙන ආයතන ණය ප්‍රාග්ධනය ලංකාවේ ආයෝජනය නොකර සිටියි කියලා. මෙවැනි විවිධ තර්ක දාලා මේ වැදගත් යෝජනාව අසාර්ථක කළා. ඒ යෝජනාව බැරිනම් ඊට සමාන යෝජනාවක් හරි ඒ වෙනුවෙන් එන්න ඕනේ. එයින් සිදුවන්නේ විදේශ ණය ප්‍රාග්ධනය ලංකාවට ආවාට එයින් 80%ක් පමණ අරගෙන යන මෙහෙයුමක් ක්‍රියාත්මක වීමයි. ඒ මගින් මේ රටට ලැබෙන ප්‍රයෝජනය අඩුවෙනවා. අපි කියන්නේ නැහැ 100%ක් ම ප්‍රතිලාභ රට ඇතුළේ සංසරණය වෙන විදිහට කරන්න කියලා. වැඩි ප්‍රතිශතයක් දේශිය කර්මාන්තකරුවාට හා නිෂ්පාදකයාට වාසි ලැබෙන ආකාරයට නැවත මෙය වෙනස් වෙන්න ඕනේ. අවාසනාවට මේ සමහර පුටු ගිලගෙන ඉන්න නිලධාරීන්ගේ හදවත ඒ ප්‍රශ්න හමුවේ උණු වෙන්නේ නැහැ. කිරිපිටි සමාගම් කිරිපිටි මිල වැඩිකරන්න ඉල්ලුවොත් අන්න ඒතුමන්ලාගේ හදවත ඒ වෙලාවට බොහෝම වේගයෙන් උණු වෙනවා. ඒ හදවත් වල ප්‍රශ්නයක් එතන තියෙන්නේ. කොහෝම වුණත් අපි විශ්වාස කරනවා මේ පිළිබදව මතයක්  ගොඩනැගිය යුතුයි කියලා. ඒ පිළිබද මේ රටේ ඉදිකීරිම් කර්මාන්තකරුවන්, වෘත්තිකයින්, මෙම ක්ෂේත්‍රයේ හඬක් නගන්න ඕනේ. ණය ආයෝජන කෙරෙන්නේ කුමකටද? කවර කාර්යයකදී වුවත් අඩුම ගණනේ 100%ක් පමණ ප්‍රතිලාභ හැම ආයෝජනයකදීම ලබාගන්න බැරිවුණත්. තෝරාගත් ක්ෂේත්‍රවලට පමණක් සීමා කරලා හරි මේ රටේ දේශිය ඉදිකිරීම් කර්මාන්තකරුවන් සමඟ හවුල් එකඟතාවක්, ඒකාබද්ධතාවක් ඇතිකර ගැනීම අවශ්‍යයයි කියන තීරණයට අපි පැමිණිය යුතුව තිබෙනවා. මම හිතනවා ප්‍රධාන ජාතික මැතිවරණ පවත්වන්න ළගයි කියන කාලයේ මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් හා වෘත්තිකයින් මේ හඬ නැගුවොත් බොහෝ වෙලාවට එවැනි ඉල්ලීම් ජයගැනීමේ හැකියාව තියෙනවා කියලා. වෙසක් පොහෝය කාලයට බකට් පත්තු කරනවා වගේ මේ කාලයට ඉල්ලීම් දිනාගැනීම සදහා හැමදෙනාම උනන්දු වෙනවා. අසාධාරණ ඉල්ලීම් නො වේ, සාධාරණ ඉල්ලීම් හැටියට මේ විදිහේ ඉල්ලීමක් මත කටයුතු කරන්න තමුන්නාන්සේලා කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා.  


    අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම අනුව මේ කරන්නේ වැරද්දක්. ඉල්ලීම් කරා තමුන්නාන්සේලා පොළඹවාලීම නෙවෙයි මගේ කාර්යය. මගේ ගැසට් නිවේදනයේ මට අදාළව පැවරී තිබෙන කාර්ය භාර්යය හැටියට එහෙම දෙයක් නැහැ. නමුත් අපි හිතනවා. අපි මොන දේ කළත් එහි වැඩි ප්‍රතිලාභය රටට ගන්න ඕන. එය රටට ගෙන්න තියෙන නීති ප්‍රමාණවත් නැත්නම් අලුතින් නීති හදලා හරි ඒ අවස්ථාව ඇති කරන්න ඕන. මම විශ්වාස කරනවා ජනාධිපතිතුමන්ව මෙයට එකග කරගන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමන් මේ ප්‍රශ්නය කෙරෙහි මීට කලින් අපි සමඟ සංවේදිව කතා කරලා තියෙනවා. නමුත් මේ ආර්ථිකය පාලනය කරන සෙසු කණ්ඩායම් මේ යෝජනා සම්බන්ධයෙන් එකඟ කරගැනීම අසීරු වෙලා තියෙනවා. අපි හිතනවා තමුන්නාන්සේලා හඬක් නැගුවොත්, ප්‍රබල මැදිහත්වීමක් කළොත් අපේ උපකාරයත් ඇතිව ඒ වැදගත් තීන්දුව ගන්න මේ රටට පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් අපේ රටේ ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ  තත්ත්වය මීට වඩා යහපත් අතට පෙරළන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.


    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්වීය.


    ශ්‍රී ලංකාවට සාමය උදාවීමෙන් අනතුරුව වැඩියෙන්ම වර්ධනයට ලක්වුණු ක්ෂේත්‍රය බවට පත් වී තිබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බව මීට පෙරත් සදහන් වුණා. අනෙක් අංශවලට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් දක්නට තිබෙන්නේ රජය විශාල වශයෙන් විදේශ ණය ප්‍රාග්ධනය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශාල වශයෙන් යොදවනු ලැබ තිබෙන නිසයි. රටේ මාර්ග පද්ධති, පාලම්, විවිධ ජල ව්‍යාපෘති, විදුලිබල ව්‍යාපෘති වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ වේගවත් පිම්මක් පසුගිය කාලයේ සිදු වී තිබෙන නිසාත් එම දායකත්වයේ ප්‍රතිඵලයක් හැටියට මෙන්ම පුද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ ගොස් තිබෙන නිසාත් ඒ දෙපාර්ශවයේම දායකත්වයේ ප්‍රතිඵලය හැටියට සෙසු අංශවලට සාපේක්ෂව අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වඩා වේගවත් වර්ධනයක් අත්කරගෙන තියෙනවා. ඒ නිසා මේ පිබිදීම දේශිය ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට පමණක් නොවේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයට අමුද්‍රව්‍ය නිපදවන්නන්ගේ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් දායක වන ශිල්පීන් හැමදෙනෙකුගේම වෘත්තීමය තත්වය හා ස්ථාවරභාවය ඇති කරන්න ප්‍රබල ලෙස ඉවහල් වෙලා තියෙනවා.


    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභියෝග නැහැ කියලා මා මේ අවස්ථාවේදී සදහන් කරන්නේ නැහැ. පුහුණු මානව සම්පත පිළිබඳ ගැටලු තිබෙනවා. අද ඒ පිළිබඳව රජය අවධානය යොමු කරලා තාක්ෂණ විශ්ව විද්‍යාල විද්‍යායතන 25ක් අලුතින්  ආරම්භ කිරීමට දැන් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තවත් අධ්‍යාපන පීඨ ඩිප්ලෝමා සහතික ලබාගන්න සහ N.V.Q. සහතික ලබාගන්න තවත් අධ්‍යාපන පීඨ 10ක් අලුතින් විවිධ දිස්ත්‍රික්කවල පළාත් මට්ටමින් නිර්මාණය කෙරෙමින් පවතිනවා. ඒ මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් නොවේ, තාක්ෂණයට අදාළ විවිධ විෂයන් හොඳින් පුරුදු පුහුණු වෙන්න බහුවිධ හැකියාවන්ගෙන් පණපෙවුණු මානව සම්පතක් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය අද දියත් වෙමින් පවතිනවා.


    අද තිබෙන ප්‍රධානතම ගැටලුව වන්නේ විදේශ ආයෝජනවලින් යටිතල පහසුකම් සංවර්ධනය වීම නිසා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් ඇතිවී තිබුණාට එම විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රතිශතයක් නැවතත් එම රටවල්වලටම ඇදි යාමේ ගැටලුව අප ඉදිරිපිට තිබෙනවා. මෙය රජය ප්‍රතිපත්තීමය වශයෙන් කල්පනාකොට උපායශිලීව පියවරක් ගතයුතු කාරණයක් හැටියට විශ්වාස කරනවා. මුල් කාලයේ යම්කිසි ණය ප්‍රාග්ධනයක් සමඟ පැමිණෙන විදේශ ව්‍යාපෘති වලින් 40% ක් පමණ ප්‍රමාණයක් ඔවුන් නැවත අරගෙන යනවා. 60%ක් පමණ ප්‍රමාණයක් මේ රට තුළ සංසරණය වුණා. නමුත් ඒ ප්‍රතිශතය අද ඊට වඩා වෙනස් වෙලා. ඒ විදේශ ණය දෙන රටවල් හෝ ආයතන බලන්නේ වැඩි වශයෙන් තමන් කරන ලද ණය ආයෝජනයෙන් අතිවිශාල පංගුවක් තමන්ගේ රටට ගෙනයන ආකාරයේ ව්‍යාපෘතිවලට මැදිහත් වෙන්න. මේ තත්ත්වයේ වෙනසක් කිරීම සදහා නව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.


    මෙහිදි සඳහන් වුණා මෙවැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා තිබෙන අසීරුතාව ගැන. ඒ නිසාම තමයි අපි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු පෑලියගොඩ පිටත වටරවුම ආසන්නයේ තිබෙන භූමියේ Ccity යනුවෙන් හඳුන්වන ඉදිකිරීම් අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ආදි සියලු දේ අඩංගු ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළේ. එහි ඉදිකිරීම් කටයුතු දැන්  අවසන් වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට එය විවෘත කරන්න. එහි දෙවන අදියර ලෙස එහි ඉදිරිපස පිහිටි භූමිය සම්පුර්ණයෙන්ම යොදාගෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරයක් හැටියට පරිවර්තනය කරන්න. එහි දෙවන අදියර අපට සැප්තැම්බර් මස අවසන් වන විට ආරම්භ කරන්න  පුළුවන් වේවි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රදර්ශන වැඩි වශයෙන් පැවැත්වීමෙන් ජනතාවගේ අවබෝධය පුළුල් වෙනවා. නව තාක්ෂණය අපේ පොදු ජනතාවට ගලාගෙන එනවා. ඒ වගේම විවිධ අත්දැකීම් බෙදා හදා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රදර්ශනය සංවිධානය කිරීම සදහා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය දක්වනු ලබන දායකත්වයට විෂය භාර අමාත්‍යවරයා හැටියට එහි සභාපතිතුමා ඇතුළු නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන්ට මගේ කෘතවේදී ප්‍රණාමය පිරිනමනවා.” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.   


    මීට අමතරව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ප්‍රදර්ශන භූමියේ පිහිටි ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමට ද එක් විය.


    ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය ( Ceylon Institute of Builders ) හා L.E.C.S ( Lanka Exhibition and Conference Services) ආයතනය එක්ව මෙම ප්‍රදර්ශනය තෙවන වරටත් සංවිධානය කරනු ලබයි.


    දේශීය මෙන්ම විදේශීය රටවල් රැසක ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 210 කින් පමණ මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.


    පාසල් ශිෂ්‍යයාගේ සිට ඉදිකිරීම් ක්ෂ්‍රේතයේ නියුතු වෘත්තිකයන්ට මෙන් ම මහජනතාවට ද මෙම ප්‍රදර්ශනය ප්‍රයෝජනවත් වේ. නව තාක්ෂණික උපකරණ හා ඉදිකිරීම් ක්ෂ්‍රේතයේ නව ප්‍රවණතා පිළිබද තොරතුරු මෙන් ම එම භාණ්ඩ විශේෂිත අඩු මිලකට මිලදී ගැනීමටද මෙහිදි පහසුකම් සපයා ඇත.


    මේ මස 20 වෙනිදා සිට 22 වෙනිදා දක්වා පෙ.ව 10.00 සිට රාත්‍රී 9.00 දක්වා Construction Expo – 2014 ප්‍රදර්ශනය විවෘතව තැබේ.


    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න, වාස්තු  විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, L.E.C.S පෞද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක අර්ජුන් ධර්මදාස, එහි සාමාන්‍යාධිකාරි අසීම් මුක්තාර්  යන මහත්ම මහත්මීහු, ඇතුළු දේශීය හා විදේශිය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විශාල පිරිසක් සහභාගි වුහ.


    HC

    Construction Expo  2014 1

    Construction Expo  2014 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya