අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට එරෙහිව ඕනෑම අභියෝගයකදී රට වෙනුවෙන් එකාවන්ව පෙනී සිටිය යුතුයි

    ජූනි 14, 2014
    ආණ්ඩුව සමඟ කුමන ගැටලු,  ප්‍රශ්න, වාද විවාද, විවේචන, සංවාද තිබුණත් රටට බැහැරින් අනතුරක් එනවිට ඊට එරෙහිව නැඟිටින්නේ නැති මිනිසුන් මේ රටේ දේශපාලනයේ සිටිය නොහැකි බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
     
    අමාත්‍යවරයා මේ  අදහස් පළ  කළේ වසර 39කට පසු රුපියල් ලක්ෂ 390ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලද කොළඹ 14, ඔරුගොඩවත්ත, ස්ටේට් පාර, කම්කරු පුර මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (12) එම නිවාස පරිශ්‍රයේදී පැවැත්විණ.
     
    “අතිගරු ජනාධිපතිතුමා තීරණය කළා අන්තර්ජාතික පරීක්ෂණ කණ්ඩායම ලංකාවට එන්න දෙනවද? නැද්ද? කියන තීරණය ගත යුත්තේ විධායකය නොවෙයි ව්‍යවස්ථාදායකය කියා. එක්කෝ මහජනතාවගෙන් කෙළින්ම අහන්න ඕන ඒ පරීක්ෂණ කණ්ඩායමට ලංකාවට එන්න දෙන්නද? එපාද? කියලා. එහෙම නැත්නම් මහජනතාව විසින් තෝරා පත්කරගත් මහජනතාවගේ ඍජු නියෝජිතයින් 225 දෙනාගෙන් අහන්න ඕන ඒ අන්තර්ජාතික පරීක්ෂණ කණ්ඩායමට එන්න දෙන්නද? එපාද? කියලා. දැන් පාර්ලිමේන්තුවට යෝජනාව දීලා තියෙනවා. 
     
    දැන් අපි අතීතය  හාරලා වැඩක් නැහැ. ඒක අයිති අතීතයට. දැන් අවශ්‍ය කරන්නේ වර්තමානය, අනාගතයට ඒ අතීතය ගෙනයාම නොවෙයි. නමුත් විදේශ බලවේගවලට ඕන ඒ තුවාලය පාරන්න. නවනීදන් පිල්ලේ නෝනා කියලා තියෙනවා යුද්ධයෙන් ඇති වූ තුවාලය සුවකරන්න ශ්‍රී ලංකා රජය අසමත් කියලා. අපි අසමත් නැහැ. එයාලට ඕන තුවාල සුවපත් කරන්න නොවෙයි. තුවාලය තව තවත් පාරන්න. එහෙම ඒ තුවාල පාරලා ඒ අතීත මතකයම අලුත් කර කර තියාගෙන අහිංසක දෙමළ ජනතාව මේ රට බෙදන දිසාවකට ආයිත් ඇදගෙන යන්න.  ඒකට තමයි මේ අනුකම්පාව පෙන්නගෙන එන්නේ. ඒ නිසා මොන වාදභේද ගැටුම් අපි අතර තිබුණත්, මොන මොන  පරස්පරතා අපි  අතර තිබුණත් අපි රටක් ජාතියක් හැටියට එක් දෙයක් පෙන්විය යුතුයි. ඒ තමයි අපි අතර මොන වාදභේද තිබුණත් බාහිර බලවේගයකට මේ රටේ බෙල්ලට තොණ්ඩුව දාන්න දෙන්නෙ නැහැ කියන කාරණය. එහෙම නොකළොත් අපි මිනිස්සු නොවෙයි.
     
    කොළඹ සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්න ජනතාව කියා පැත්තකට දාන එක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත් ඒ  නිසා අලුතින් මහල් නිවාස යෝජනා ක්‍රම හදනවා වෙනුවට තිබෙන නිවාස යෝජනා ක්‍රමවල ඇති ප්‍රශ්න විසඳීම සඳහා මුදල් යොදවන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර, කොළඹ නාගරික මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, එහි අතිරේක ලේකම් කේ.ඒ. තිලකරත්න, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරි ජී.යූ. උපවංශ, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ජන සෙවණ මහලේකම් කාර්යාලයේ උපදේශක ලක්විජය සාගර පලන්සූරිය යන මහත්වරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya