ටෙස්ට් ක්‍රිකට් තරගයකදී වසර 70කට පසු ඉනිමක අඩුම ලකුණු ගණනකට දැවී ගිය බටහිර ඉන්දීය කොදෙව් පිල කිංග්ස්ටන් සබීනා පාක් හි පැවැති 3 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඕවර 14.3කදී ලකුණු 27කට සියලු දෙනා දැවී ගියහ. ඔස්ට්‍රේලියාව හමුවේ මෙලෙස අඩුම ලකුණු ගනනකට දැවී යෑමෙන් පසු වාර්තා රැසක් අලුත් විය.
මෙය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක අඩුම ලකුණු ගණන වූ අතර, මීට පෙර වාර්තාව වූයේ 2004 දී එම සබීනා පාක් හි ක්‍රීඩාංගණයේදීම එංගලන්තයට එරෙහිව ලකුණු 47ක් ලබා ගැනීමය.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන අඩුම ලකුණු එකතුව වූ අතර, 1955 දී ඕක්ලන්ඩ්හිදී එංගලන්තයට එරෙහිව නවසීලන්තය ලකුණු 26කට දැවී ගියේය. කොදෙව් කණ්ඩායම ඉනිම දෙකක් පුරා රැස් කළ මුළු මුළු එකතුව ලකුණු 170කි. මෙය ටෙස්ට් තරගයකදී ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 1957 දී ඕවල් හිදී එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 175 කි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 14.3කදී දැවී යෑම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක තුන්වන අඩුම ඕවර් සංඛ්‍යාව වේ. දකුණු අප්‍රිකාව 1924දී එංගලන්තය හමුවේ බර්මින්හැම් ටෙස්ට් තරගයේදී ඕවර 12.3කදී ලකුණු 30කට දැවී ගිය අතර, ශ්‍රී ලංකාව 2024දී දකුණු අප්‍රිකාව හමුවේ ඩර්බන් ටෙස්ට් තරගයේදී ඕවර 13.5කදී ලකුණු 42කට සියල්ලන් දැවී ගියහ.


