2026 FIFA ලෝක පාපන්දු කුසලාන තරඟාවලිය සජීවීව විකාශය කෙරෙන නිල ප්‍රේක්ෂක කලාපය (FIFA Fan Zone) විදේශ රැකියා, විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට යෝර්ක් වීදියේදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙම Fan Zone මඟින් ලෝක කුසලාන පාපන්දු තරඟ සජීවීව නැරඹීමට පාපන්දු ලෝලීන්ට විශේෂ අවස්ථාවක් හිමි වන අතර, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතිය හා ක්‍රීඩා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට වැදගත් පියවරක් බව අමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එකඟ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මීගමුව කඩොල්කැලේ ක්‍රීඩාංගන භූමියේ එම ව්‍යාපෘතිය සඳහා මූලික නෛතික කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
එම ව්‍යාපෘතිය මඟින් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පාපන්දු තරඟාවලි පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
ඓතිහාසික ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය නවීන මට්ටමට සංවර්ධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, මෙම ව්‍යාපෘති මඟින් කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ යනු ඇති බවද සඳහන් වේ.


