2026 සැප්තැම්බර් මාසයේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත "Colombo Marathon" ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා, ඉන්දියාවේ ප්‍රකට Mumbai Marathon තරගාවලියේ සංවිධායකයන් සහ සමසත්කාරකත්වය දරණ John Keells Group නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(16) පැවැත්විණි.
එහිදී ජාත්‍යන්තර මට්ටමේ මැරතන් තරගයක් සාර්ථකව සංවිධානය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා සංවිධානමය කරුණු පිළිබඳ උපදෙස් ලබාදීමට Mumbai Marathon සංවිධායකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, Colombo Marathon තරගාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සැලසුම් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙවර තරගාවලිය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සෘජුවම සංවිධානය කිරීමට දායක වන ප්‍රථම දැවැන්ත ජාත්‍යන්තර මැරතන් ඉසව්ව වීම විශේෂත්වයකි.
2026 Colombo Marathon තරගාවලිය සඳහා දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි. තරගාවලියට සම්පූර්ණ මැරතන් (42.195 km), අර්ධ මැරතන් (21.097 km), 10 km ධාවනය, 5 km Fun Run සහ ළමා ධාවන ඉසව් ඇතුළත් වේ.


