මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන ඝනත්වය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක්

    පෙබරවාරි 02, 2019

    අඩුම වන ඝනත්වයක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයෙහි වන ඝනත්වය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    මේ සඳහා වූ මූලික සාකච්ඡාවක් පසුගියදා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙහිදී ප්‍රකාශ වූයේ දිවයිනෙහි අඩුම වන ඝනත්වය ගම්පහ දිස්ත්‍රික්කයෙහි වන බැවින්, 2%ක් වන මෙය 4%ක් දක්වා ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කෙරෙන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

    මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, මේ වනවිට 29% ක් ලෙසින් පවතින දිවයිනෙහි වන ඝනත්වය 32% ක් දක්වා ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසාලන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇති බවත් මේ යටතේ අවම වන ඝනත්වය පවතින ගම්පහ දිස්ත්‍රික්කය තුළ වන වගාව සඳහා පවතින ඉඩම් ප්‍රමාණයන් හඳුනාගත යුතුව ඇති බවත්ය.

     මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, විශේෂයෙන්ම මීරිගම ,දිවුලපිටිය, දොම්පෙ, මහර, අත්තනගල්ල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවතින ඉඩම් වන වගාවන් සඳහා යොදාගත හැකි බවයි. මේ සඳහා සුදුසු ඉඩම් කොටස් ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මගින් හඳුනාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

     දිස්ත්‍රික්කයෙහි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් මෙන්ම රාජ්‍ය ආයතන, පෞද්ගලික මෙන්ම ආගමික සිද්ධස්ථාන සතු ඉඩම්වවලද හිමිකරුවන්ට ආදායමක් පවා ලැබෙන අන්දමින් රුක් රෝපනය කිරීමටත් , වනජීවී දෙපාර්තමේන්තුවට අයත් මුතුරාජවෙල අක්කර 1000කට අධික භූමි කොටස් මෙන්ම දිවුලපිටිය පුරාවිද්‍යා භුමියෙහි අක්කර 5ක පමණ ඉඩම සහ පිළිකුත්තුව ආශ්‍රිතව වනපෙත්ද මෙලෙස වන වගාවන් සඳහා යොදා ගත හැකිව ඇති ආකාරයත් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

    මෙම අවස්ථාවට වන සංරක්ෂණ පී.ඒ.ජී.එස්.නන්දකුමාර , වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙහි නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ, අධ්‍යක්ෂිකා වන සම්පත් ලතීෂා ලියනගේ, අතිරේක දිසාපති අනුර ප්‍රියබන්දු , ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක යන මහත්ම මහත්මීහු සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටි අතර ඉදිරි රැස්වීමේදී දිස්ත්‍රික්කයේ හඳුනාගත් ඉඩම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණි.

     

    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya