කුඩා කළ සිටම දරුවකුගේ මනසෙහි හොද යැයි සම්මත සාධක තැන්පත් කරන්නේ නම් , ඔවුන් වැඩුණු පසුව නරකට හැරවීම අපහසුය. එයට යහපත් සමාජානුයෝජනය යැයි කියයි. ශ්‍රී ලංකේය සමාජය තුළ සංහිදියාවක් , සහජීවනයක් ගැන උගන්වන්නට සිදුව තිබෙන්නේ , කුඩා කළ සිටම යහපත පැහිදිලි නොකිරීමේ ආනිසංසය මත ඇතිව තිබෙන හිත් හදුනා නොගැනිමේ නිදන්ගත රෝගය නිසාවෙනි. කුඩා කළ සිට ක්‍රමානුකූල සමාජානුයෝජන වටපිටාවක් මනාව නිර්මාණය කළා නම් බහු වාර්ගිකත්වයක් පවතින අපේ රටේ මිනිසුන් එම බහුවාර්ගිකත්වය මත ගොඩනැගෙන, බහු සංස්කෘතික තත්ත්වයන් විචිත්‍රවත්ව පරිහරණය කරනු ඇත.
කරුණු කවර වෙතත් දැනට සංහිදියාව , සහජීවනය ගැන සමාජයට දැඩිව කියාදෙන්නට සිදුව තිබේ. වේගයෙන් වැඩී පැතිරෙන වල් පැලෑටි බදුව වැරදි අදහස් සිත් තුල වැඩී පැතිරී යාම මීට හේතුවයි. සමගියෙන් , සමාදානයෙන් දිවි ගෙවන්නට ලොකු අයට වඩා පොඩි අයට කියා දීම පහසුය. ළමා ලෝකය තුල ඇත්තේ එකම සිතිවිලිය. ඒවා තුල උස් පහත් භේද , කුල භේද , ජාති භේද නොමැත. එම නිසා ඔවුන් එකම රටක පුරවැසියන් වශයෙන් ශක්තිමත් ජාතිකත්වයක් ඇතිකිරිමට මෙහෙයවිය හැකියි.
දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද තරගකාරී විභාග මානසිකත්වය පමණක් දරුවන් තුල ඇතිකර ඔවුන් ඒ මතින් හෙම්බත් කළ හොත් ඇත්වන්නේ නරක තත්ත්වයකි. කුමක් ද යත් , එම දරුවන් සමාජය සමග සංහිදියාව ඇතිකර ගැනීමට නොපෙළඹෙනවා පමණක් නොව තමන් තමන් සමග ද වෛරයක් ඇතිකර ගනී. එවිට එයට වගකිව යුතු පළමු කාණ්ඩ දෙක වන්නේ දෙමාපියන් හා ගුරුභවතුන් ය. විභාග තරගය අතර තුරු හිත් පිරිසිදු කිරීමේ තරගය ද වේගයෙන් ව්‍යාපත් කළ යුතුව ඇති හෙයින් ඒ සදහා දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද මනා සබුද්ධිකත්වයකින් සිය සන්නිවේදනය දියත් කළ යුතු වේ. කෙටියෙන්ම කිව හොත් සමගියේ පරමාදර්ශය ගෙදරින් හා පාසලෙන් ලබාදිය යුතුයි. එවිට එම යහ පුරුදු හැදින සමාජගත වන දරුවා සමාජ සහජිවනය ඇතිවන පරිදි ක්‍රියාකරන්නට පටන් ගනී. කාලීනව බලන කළ ශ්‍රීලංකාවට අවැසි හොදම ඉගෙනුම වන්නේ මෙයයි.
අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා , දමිළ භාෂා අංශයේ ගුරු භවතුන් හා මාධ්‍ය ඒකකය එක්ව ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ වැඩසහනක් පවත්වන ලද්දේ , යට විස්තර කළ සංහිදියා රික්තකය පිරවීමට ඔවුන්ට ද දායක විය හැකි බව ප්‍රායෝගිකව පෙන්වමිනි. කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ දරු දැරියන් හා ගුරුභවතුන් පිරිසක් කැදවා දිනක් පුරා කළ සුහදතා සංවර්ධන වැඩසටහන සතුටේ සැබෑව ඔවුනොවුන් විදගත්තා සේම අන් අයට ද ඒ සතුට බුක්ති විදීමට ඉඩ හසර සැදු සමගියේ පාලමකි.
ප්‍රදේශය අනුව චර්යා වෙනස් වීම වැලැක්විය නොහැකියි. එනම් සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එම වෙනස එලෙසම පැවැතිය යුතුය. මන්ද විවිධත්වය රසවත් ය. කළ යුත්තේ විවිධ ප්‍රදේශවල පාර්ශවයන් ඒ ඒ සංස්කෘතික තත්ත්වයන් තුල අන්තර් ක්‍රියාකාරී වී ගැලපුමක් කරා එළඹීමයි. ඒ ඒ පිරිස් ඒ ඒ පෙදෙස් වල සිටීමෙන් යට කී තත්ත්වය කිසි සේත්ම ඇතිකළ නොහැකිය. සංහිදියාවේ ඇත්ත පැත්ත මතුවීමට අන්තර් සම්බන්ධතා මත අන්තර් ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය වේ. එයින් සෝ තාපයේ ගිලෙනු වෙනුවට සන්තෝෂයේ හර ඵල උදාකරගත හැකියි.
ශෝකය වැළලීමටත් , සතුට පීදීමටත් තුඩු දුන් ධර්මපුරම් හා වලිසිංහ විද්‍යාල දරුවන්නේ ක්‍රියාව අනාගතයේ බාලපොරොත්තුවන දෝෂ රහිත සංහිදියාවක් ඇතිකිරිම සදහා රුකුල් සපයයි. ඔවුනොවුන් එක්ව ක්‍රිඩා කළ විලාසය , කතා බහ , විනෝදවීම් , ආහාර ගැනීම් ආදී සියල්ලෙහිම ගැබ් වූයේ සිංහල - දෙමළ වශයෙන් වන බෙදීම බිදකුදු නැති, සහෝදරත්වයේ බැදීමකි. අද දවසේ බොහෝ පවුල්වල සංහිදියාව නැත, පාසල් තුල ද සංහිදියාවට හානිකර තත්ත්ව උද්ගත වේ. එබදු අය මේ වැනි අවස්ථා නැරඹිය යුතුය. ඒවාට එක්විය යුතුය. ඒ ගැන ලියා ඇති දෑ කියවිය යුතුය. සියලු දෙනාම මිනිසුන් ය යන අදහස ශක්තිමත්ව හා ස්ථාවරව මනස තුල රදවා ගන්නා මිනිසුන් බෝ කිරිමට මෙබදු වැඩසටහන් කවුරුත් ආදර්ශයට ගත යුතුයි. ගුරුවරුන්ගේ , මග පෙන්වීම මත පාසල් දරුවන් ක්‍රියාත්මක කළ වැඩසටහනක් හේතුවෙන් මේ වැඩසටහන් තුල ස්ථාවර බවක් තිබේ. ප්‍රමිතියක් ද තිබේ.රදවා ගත යුතුව ඇත්තේ අඛණ්ඩතාවය පමණි. එවිට නොදැනීම එකිනෙකා අතර බැදීම තරවේ. නිවන්තක චේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න බණ්ඩාර මහතා, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඩී. රණසිංහ විදුහල්පතිතුමා , දමිළ භාෂා අංශයේ ඒ .එන් .කේ පද්මිණි හා ඒ.එන් .කේ නිර්මලා යන ගුරු භවතුන් තුල ඇතිවූ අවබෝධයේ මල් ඵල ගැන්ම අතිශය ප්‍රශංසාවට බදුන් කිරීම වටී. විභාගයට පමණක් හිස නමන , අධ්‍යාත්ම විරහිත අධ්‍යාපන රටාව අනුවණ බව තේරුම් ගත් ඔවුන් මේ කරන ක්‍රියාමාර්ගයන් හි ඵලදාව ලැබෙන්නේ අද හෙට නොවේ . එයට තරමක් කල් ගත වනු ඇත. දහසක් මත මතින් සහසක් මල් පීදෙන සෞභාග්‍යවත් අනාගතයක් ශ්‍රී ලංකාව තුල ගොඩ නැගීමට මෙබදු වැඩසටහන් තව තවත් ඕනෑකර තිබේ.
ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර