අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ආරම්භ වෙයි

    අගෝස්තු 23, 2016

    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ඊයේ (22) සිට ආරම්භ වූ අතර ලබන 29 වැනි දා දක්වා ක්‍රියාත්මක වන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


    දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි එය ක‍්‍රියාත්මක කර තිබෙන අතර සිඝ‍්‍රයෙන් ඉහළ යන බෝනොවන රෝග මර්දනය කිරීමේ අරමුණින් මෙම ආහාර සුරක්ෂිතතා සතිය ක‍්‍රියාත්මක කර තිබේ.

    ආහාර පාන සකස් කරන හෝටල්, බේකරි, රෙස්ටුරන්ට් සහ දුර ගමන් බස් රථ නැතුම් ස්ථාන වල පිහිටි ආපනශාලා මෙහිදී පිරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම පැණි බීම සඳහා වූ වර්ණ සංකේත යෙදීමේ නීතිය ද ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවධානය යොමු කරන අතර, එම නීතිය කඩ කරන වෙළෙදුන්ට සහ නිෂ්පාදකයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට ද නියමිතය. එමෙන්ම ඉහත සියලු ස්ථානවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරේ.

    ජාතික ආහාර සුරක්ෂිතතා සතියේ සමාරම්භක වැඩසටහන ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මරදාන ප‍්‍රදේශයේ දී  ක්‍රියාත්මක කෙරිනි. එහිදි ආපන ශාලා සහ වෙළෙද සැල් රැසක් පරික්ෂාවට ලක් කළ අතර, පැණිබීම වර්ගවල වර්ණ රෙගුලාසි පිළිබඳව දැඩි අවධානය යොමු කෙරිණි. වර්ණ සංකේත නොමැති පැණිබීම බෝතල් යළි එම සමාගම්වලට යොමු කර වර්ණ සංකේත යෙදු බෝතල් පමණක් අලෙවි කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වෙළෙදුන්ට උපදෙස් ලබාදෙන ලද අතර, ලේබල් නොමැති පැණි බීම බෝතල් අලෙවිකිරීමට නොහැකි බව ද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.


    එමෙන්ම ආපන ශාලාවල භාවිතා කරන ශීතකරණවල ප‍්‍රමිතිය පිළිබඳ ගැටලු රැසක් මතු වූ අතර, එම ශීතකරණවල මස් වර්ග, ආහාර වර්ග සහ කොත්තු වර්ග සැදීමට ගන්නා අමුද්‍රව්‍ය එකට තැන්පත් කිරීම නිසා ගැටලු මතුව තිබු අයුරු දක්නට ලැබුනි. එමෙන්ම ආපන ශාලා ගණනාවක් පරීක්ෂා කළ අතර ඒවායේ පැවැති ගැටලු නිවැරදි කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. එහිදී උපදෙස් කඩකරන පිරිස්වලට එරෙහිව ආහාර පනතට අනුව නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

    මෙම වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන අතර, පවතින මෙවැනි ගැටලු පිළිබඳ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කළ හැකි අතර, ඔවුන්ගෙන් නිසි සේවාවක් ඉටු නොවුන හොත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් මෙහිදි ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya