අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරිපා අඩවිය රැක ගනිමු

    අප්‍රේල් 06, 2016
     ශ්‍රි පාදස්ථානය සුවහසක් බොදු ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන ලෝක පූජිත පුද බිමකි. සිරිපා අඩවියට අධිගෘහිත සුමන සමන් දෙව් රදුන් බුදු සසුන පවතින හැකි මෙම පූජනීය පින්බිම සුරකීමට පෙවී සිටින බව ප්‍රකට කරුණකි. එසේම හින්දු භක්තිකයන් මේ පුද බිම වන්දනා කරන්නේ මෙහි පිහිටා ඇත්තේ ශිව දෙවිදුන්ගේ පා සළකුණ බවට විශ්වාස කරන හෙයිනි. මුස්ලිම් භක්තිකයන් මේ පුද බිම වන්දනා කරනුයේ එහි පිහිටා ඇත්තේ ආදම්ගේ පා සළකුණ යැයි විශ්වාස කරන හෙයිනි.

    DSC 0755

    කුමන ආගමක් ඇදහුව ද වසරේ මාස හයක් වැනි කෙටි කාලයක් තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පුද බිම වන්දනා කිරීමට පැමිණෙති. මෙසේ පැමිණෙන මිනිසුන් අතින් මෙම සුන්දර භූමිය අපවිත්‍ර වීම අද වනවිට කිසිලෙසකින්වත් පාලනය කළ නොහැකි තත්වයකට පත්ව පවති.
     
    සිරිපා වාරය මාස හයකට සීමා වීම තුළ හැටන්  පලාබද්දල කුරුවිට මාර්ග ඔස්සේ සිරිපා වන්දනා කරන ජනයා නොකඩවා මෙම පුදබිමට පිවිසෙන අතර විශේෂ නිවාඩු දිනවලදි එම ප්‍රමාණය දිනට ලක්ෂ අට ඉක්මවු අවස්ථා පසුගිය දනවල වාර්තා විය. 
     
    ලංකාවේ ජීවනාලිය බදු මහවැලි,කැළණි, වලවේ,කලු යන ප්‍රධාන ගංගා මෙන්ම තවත් විශාල ප්‍රමාණයක් අතු ගංගා සදහා ජල මූලාශ්‍ර වන සිරිපා අඩවිය ලක්ෂ ගණනින් ජනතාව ගමන් ගන්නා ප්‍රදේශයක්  වීම නිසා ජලයේ පවිත්‍රතාවයට අභියෝගයක්ව පවති.
     
    ඈත අතීතයේ මිනිසුන් සිරිපා වන්දනා කරද්දි අද මෙන් පහසුකම් නොතිබුනු පරිසරයක කෙසෙල් කොළ, කැන්ද කොළ කොලපත් ආදිය ආහාර ගෙනයාමටත් ලබු කැටය  ජලය ගෙනයාමටත් භාවිත කළ අතර එයින් කිසිවිටකත් පරිසරයට හානියක් වූයේ නැත.
     
    නමුත් අද වනවිට ක්ෂණික ආහාර බහුල සමාජයක සෑම ආහාරයක්ම පොලිතින් ආවරණය දවටා තිබීම තුළ ආහාර සුරක්ෂිත භාවය පිළිබදව අවධානය යොමු කළත් ඉන් පරිසරයට සිදුවන හානිය කිසිදු වැදගත් සාධකයක් නොවීම තුළ සිරිපා සමයේ දි ගමන් මාර්ග වල පොලිතින් ආවරණ සහ ප්ලාස්ටික් බෝතල් අධික ප්‍රමාණයක් පරිසරයට එකතුවීම සිදුවේ.ගමන ආරම්භයේදි මගට කන්න ගෙනයන කෙටි කෑම වර්ග සහිත ආවරණ මග අතහැරයාම සුලභ දසුනකි.
     
    මධ්‍යම පරිසර අධිකාරිය මගින් රාජ්‍ය ආයතන විශාල මුදලක් වැයකර කසල බදුන් එම මාර්ගවල තැන්තැන් වල තබා තිබුණ ද ඒවාට නොදිරන අපද්‍රව්‍ය දැමීම අපේ මිනිසුන්ගේ සිරිත නොවේ. එම කසල බදුන් කලාතුරකින් හෝ භාවිතා කරනුයේ සිරිපා චාරිකාවේ පැමිණෙන විදේශකයකු පමණි.
     
    බුදු රජාණන් වහන්සේ පිළිබදව අතිමහත් භක්තියකින් ගමන් ගන්නා මිනිසුන්ට පරිසරය පිළිබදව කිසිදු හැගීමක් නොමැතිවීම පුදුම සහගතය. සිරිපා අඩවියේ දි කටවරද්ද ගැනීම පිළිබදව දැයි උනන්දුවකින් සිටියත් පරිසරයට හානි කිරීමට කිසිදු බියක් නැත.
     
    මිනිසුන් විසින් සිදුකරන පරිසර හානිය පාලනය කිරීමට මිනිසුන්ටම සිදුවීම දෛවයේ සරදමකි. විශාල පිරිසක් තමන්ගේ පහසුව පමණක් සිතන, නිවන් දකින මග කෙටිකර ගැනීමට පින් කිරීමට සිරිපා කරුණා කරද්දි ඔවුන් පරිසරයට බැහැර කරන පොලිතින් ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමට සිදුවන්නේද තවත් මිනිසුන් පිරිසකටමය. එම ප‍්‍රදේශ ආශ්‍රිත ප්‍රාදේශීය සභාවල කම්කරුවන් යොදා මෙම ප්‍ර‍දේශ පිරිසිදු කිරීම සිදු කලද එය ප්‍රමාණවත් පරිදි සිදුවන්නේදැයි නැවත සිතා බැලිය යුතුය. විවිධ ආයතන හා සංවිධාන වලින් වරින් වර පිරිසිදු කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමද අගය කළ යුතුය. ඒවාට සහයෝගය ලබා දීමද වැදගත්ය.
     
    රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් ස්ථානයේ සිවිල් ආරක්ෂක කමිටුවේ මෙහෙයවීමෙන් පසුගිය 23 වනදා ශ්‍රි පාද අඩවිය පිරිසිදු කිරීමේ උතුම් වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඒ ගොඩකවෙල පොලිස් ස්ථානයේ මහජන සම්බන්ධතා නිලධාරි අමාලි චම්පිකා රණතුංග මහත්මියගේ අප්‍රතිහත ධෛර්යයේ යන කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 150 කගේ දායකත්වයෙනි. 
     
    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දි එළඹුණු අභියෝග අපමණය. නමුත් අවසානයේදි එය යථාර්ථයක් විය. මෙම වැඩසටහන සදහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මගින් එම පිරිසට අවශ්‍ය ගමන් මලු සහ එම අධිකාරියේ පසු භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය මගින් කසල එක්රැස් කිරීමේ මලු ලබා දෙන ලදි.
     
    මෙම පිරිස මාර්තු 22 වන දින හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කර 23 දින පලාබද්දල මාර්ගය අහස්ගව්ව ප්‍රදේශයේ සිටම පිරිසිදු කරමින් පහලට පැමිණ තිබිණි. නමුත් එම පිරිසට පිරිසිදු කිරීමට හැකිවී ඇත්තේ ගමන් මාර්ගයේ හතරෙන් එකක පමණ ප්‍රමාණයක් බව අමාලි චම්පිකා මහත්මිය පැවසුවාය. මිනිසුන් විසික් මෙම පරිසරයට එක් කරන ලද නොදිරන අපද්‍රව්‍ය පිළිබදව ඔබට අදහසක් ලබා ගැනීමට එයට ප්‍රමාණවත් යැයි මම විශ්වාස කරමි.
     
    මෙසේ දැඩි පරිශ්‍රමයකින් සහ කැපවීමකින් යුතුව අවදානම් සහගත ස්ථානවල පවා කසල එක් රැස් කරමින් පලාබද්දල කඩමංඩිය වෙත මෙම කසල පිරවු මලු රැගෙන යන ලදී.  ගිලීමලේ ප්‍රදේශීය සභාවෙන් එම කසල ඉවත් කිරීමට පහසුකම් සලසා නොතිබුනු අතර එම කසල පිරවු මලු පොලිස් පරිසර ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින්ගේ සහායෙන් එම ස්ථානයෙන් ඉවත් කරන ලදි.
     
    මෙම වැඩසටහනේ එකතු කරන ලද සියලුම නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සදහා යොමු කළ හැකි පොලිතින් ප්ලාස්ටික් වැනි දේවල්ය. ලංකාව පුරා පැතිරුණු පොලිතින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය කිරීමේ කර්මාන්ත රාශියක් පවතින අතර සියලුම පලාත් පාලන ආයතන ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමද ඉතා වැදගත්ය.
     
    පළාත්පාලන ආයතන වලින් එක් රැස් කරන කසල වර්ගීකරණය කිරීමෙන් පසු අනිවාර්යෙන්ම ප්‍රතිචක්‍රිකරණය කිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් පරිසර ගැටළු අවම වනවා සේම එම කර්මාන්ත කරුවන්ගේ පැවැත්වීමටද සහයෝගයක් වේ. මේ පිළිබදව බලධාරින්ගේ අවධානය යොමු වීම වැදගත් වන අතර සිරිපා අඩවියේ නොදිරන කසල බහුල වීම පිළිබදවද විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය. එසේම පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ස්වේච්ඡා සංවිධාන දිරි ගැන්වීම සහ උදව් කිරීමද අත්‍යාවශ්‍ය කරුණකි.
     
    DSC 0758
     
    ගොඩකවෙල සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් පලාබද්දල මාර්ගයේ කසල එකතු කිරීම සිදු කර ඇති අතර එසේම දිනපතා එම ප්‍ර‍දේශයේ කසල ඉවත් කරන බව පැවසුවද මාර්ගය දෙපස විශාල ප්‍රමාණයක කසල රැදී තිබීම ගැටළුවකි. මේ පිළිබදව අදාළ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු අතර පවතින ක්‍රම විධිමත් කිරීම මෙන්ම දුෂ්කර මාර්ගයද පිරිසිදු කිරීම සදහා දිරිගැන්වීමද ඉතා වැදගත්ය. 
     
    සිරිපා අඩවිය කසලින් තොර වීමේ ප්‍රතිලාභය ලැබෙන්නේ සිරිපා අඩවියට පමණක් නොවේ. සමස්ථ ලංකාවේම ජල උල්පත් රැකගැනීමද අප කාගෙත් වගකීමකි. පරිසරය සුරැකීම පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙන්ම පරිසරයට හානි කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමද අත්‍යාවශ්‍යය.
     
     දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය-කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya