ශ්‍රී ලංකාව මේ සැමරුවේ උතුරු නැඟෙනහිර යුද්ධයේ නිමාවීමේ හයවැනි සමරුවය.
දකුණ මෙන්ම උතුරු නැඟෙනහිර ද එකී සමරුවට දායක විය. උතුරු නැඟෙනහිර තැන තැන සැමරුණේ අනුස්මරණ උත්සවය. දකුණේද අනුස්මරණ සමඟ ඉන් උපන් ජයග්‍රහණය ගැනද සැමරිණ.
මෙකී සැමරීම් හුදු වර්ණනාවන්ට සීමා නොකර එදෙස යථාර්ථවාදී ලෙස බැලිය යුතුය. ලබාගත් කිනම් ජයග්‍රහණයක් හෝ සැබෑ ජයග්‍රහණයක් බවට පත්වනුයේ එවිටය. යුද්ධයේ ජයග්‍රහණය සැමරීමට අයිතියක් දිනූ පාර්ශවයට තිබේ නම් පරාජය වූ පාර්ශවයට එය අනුස්මරණය කිරීමේ අයිතියක් නැතැයි තර්ක කළ හැක්කේ කාටද? එහෙත් එවැනි තර්ක මතුවෙමින් ඒ ගැන කසු කුසු ඇති වෙමින් පවතී. ඒ කසුකුසුම කාක් පිහාටුව වැමෑරූ කතාවට නොදෙවැනි වී ලැව් ගින්නක් වී පැතිරීමට ඇති ඉඩකඩ බොහෝය. එහිදී උතුර යළි දකුණ දෙසත් දකුණ යළි උතුර දෙසත් සැකයෙන් මිස සහෝදරත්වයෙන් බැලීමට කැමැති නොවෙයි. එහෙත් මෙකී දෙපාර්ශවයේම නායකයන්ට මේ සැමරුම පවත්වා ගැනීමට ඇත්තේ මහත් වුවමනාවකි. එකී වුවමනාව මතුවන්නේ ඇයි?
බල තණ්හාව
ඊට හේතුව වූ කලී බලය තහවුරු කර ගැනීම සඳහා වූ අරගලයයි. බලය පවත්වා ගැනීම උදෙසා වූ අරගලයයි. 1948 නිදහස දිනා ගැනීමට පුරෝගාමී වූ නායකයන් සිය දේශපාලන ජීවිතයෙන් විශ්‍රාම ගිය පසු වෙනම නිදහස් උත්සව පැවැත්වූයේද නැත. එහෙත් ඔවුන්ගේ නම් ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇත.
තෙවැනි වරටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය ලැබූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද වෙනම යුද ජයග්‍රහණය සැමරුවේය. ඊට විශාල ප්‍රචාරයක්ද දී තිබුණි. ඔහු මේ යුද සැමරුමට සහභාගී වන්නේ ඔහු අගමැති කළ යුතු යැයි ඔහුගේ ගෝල බාලයන් රටවටා රැස්වීම් පවත්වමින් යන අතරේය. ඔහුගේ මේ සැමරුමෙන් තවදුරටත් පැහැදිලි වන එකම කරුණ වන්නේ ඉදිරියේදී නැවත බලයට ඒම සඳහා කරන නොනිමි අරගලයය. ඒ අරගලය උදෙසා කරනු ලබන මෙවැනි ක්‍රියා හමුවේ පවතින ආණ්ඩුවටද මෙකී සැමරුම උත්සවශ්‍රීයෙන් කිරීමට සිදුවෙයි.
එවැන්නක් නොකළහොත් පවතින ආණ්ඩුව යුද සොල්දාදුවන්ද යුද ජයග්‍රහණයද හෑල්ලුවට ලක් කරන බවට විපක්ෂය නඟන චෝදනා ප්‍රබල වන්නේය. එහිදී යළි ත්‍රස්තවාදයට පණ පෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවටද විපක්ෂය දැනටමත් නගන චෝදනා තීව්‍ර විය හැකිය. උතුරු හා නැඟෙනහිර යුද්ධයේදී මිය ගිය පුරවැසියන් සැමරූ අනුස්මරණ උත්සව ද උසාවි නියෝග මත නතර වූ එල්.ටී.ටී.ඊ. සැමරුම් ද ඊට ඔක්සිජන් සපයයි. එබැවින් දකුණේ ද රාජ්‍ය උත්සව තබමින් යුද ජයග්‍රහණ සැමරීමට වත්මන් ආණ්ඩුවට සිදුවෙයි.
උතුර - දකුණ
එසේ නොකොට උතුරට විසැඳුම් පමණක් සපයමින් යුද ජයග්‍රහණය සමරා නොසිටීමට ආණ්ඩුවට පුළුවන්කමක් නැත. මන්ද තවමන් ජාතිවාදය ගින්දර ළඟ ඇති පුළුන් මෙන් අවුස්සාලීමේ හැකියාව තවදුරටත් අපේ රටේ ඉතිරිව තිබෙන බැවිනි. ඒ වෙනුවෙන් විපක්ෂය නිවී ඇති ගින්දර දල්වමින් දායකත්වය සපයයි.
දකුණේ දේශපාලන නායකයන්ට පමණක් නොව උතුරු නැගෙනහිර දේශපාලන නායකයන්ගේ තත්ත්වයද මීට දෙවැනි නැත. දෙමළ සන්ධානයේ දේශපාලන නායකයන් හැසිරෙන්නේද සිය බලපරාක්‍රමය එකී ප්‍රදේශවල පතුරුවා ගැනීමේ අභිලාෂයෙනි. සිය ජනයාගේ සැබෑ අයිතීන් දිනා ගැනීමට සාමකාමීව වෙහෙසවනවාට වඩා දකුණ අවුස්සමින් ඉන් දෙමළ ජනතා සිත් ප්‍රබෝධයට ලක්කරමිනි ඔවුන් සිය දේශපාලන කටයුතු කරනුයේ. එසේ නොමැති වූවා නම් එල්.ටී.ටී.ඊ. සැමරුමට වාරණ නියෝග ගැනීමට පොලිසියට සිදුවන්නේ නැත. දෙමළ සන්ධානයේ මෙකී හැසිරීම් තම ගැටලු විසැඳීමට ඉදිරිපත්ව සිටින ආණ්ඩුවට කරනු ලබන බාධා කිරීම්ය. මන්දයත් ආණ්ඩු විරෝධීන් කෙන්ද කන්ද කරමින් ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බැවිනි.
කෙසේ වුවද මෙවර උතුරේ යුද අනුස්මරණයේ විශේෂත්වයක්ද තිබිණි. වව්නියාවේ සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති අනුස්මරණ උත්සවයේදී උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති පී. සත්‍යලිංගම් මහතා පවසා තිබුණේ යුද්ධයේදී මිය ගියේ සිංහල දෙමළ මුස්ලිම් වුවද ඔවුන් මිනිසුන් බවය. එමෙන්ම එම සැමරුමට කැබිතිගොල්ලෑව හා මහකෝන්ගස්කඩ ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය සිංහල වැසියන්ගේ ඡායාරූප දෙකක්ද විය. මේ සැමරුම යථාර්ථයක් විය යුතුය. රැවටීමක් නොවිය යුතුය.
ත්‍රස්තවාදය සාකච්ඡා මාර්ගයෙන් විසැඳීමට එකි ත්‍රස්තවාදී කණ්ඩායම මැලිවන්නේ නම් ඔවුන් සිය සාපරාධී බිහිසුණු ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන්නේ නම් එය මර්දනය කළ යුතු බවට විවාදයක් නැත. එහෙත් එකී මර්දනය ගැන දිගින් දිගට ජයපැන් බොනවාට වඩා කළ යුත්තේ එකී යුද්ධයට තැනුණ මාර්ග වසා දැමීමය. එහිදී ලබා දෙන විසැඳුම්වලින් උතුරේ මෙන්ම දකුණේද අයිතීන් ආරක්ෂා විය යුතුය. දෙපාර්ශවයටම අසාධාරණයක් නොවිය යුතුය. එකිනෙකා සහෝදරත්වයෙන් බැඳෙන විසැඳුම් විනා සැකයට තුඩුදෙන විසැඳුම් හෝ යෝජනා හෝ ඉදිරිපත් කිරීම පවා සිදු නොවිය යුතුය.
ජනපති මෛත්‍රී
රටක නායකයකු පිළිබඳ ප්‍රශස්ති නොගයා හෘද සාක්ෂියට එකඟව යම් ඇගැයීමක් කරන්නට ලැබීම රටක පුරවැසියකු ලබන මහත්ම භාග්‍යයකි. 2015 ජනවාරි 8දා ලැබුණ ජනවරම හේතු කොට ගෙන පත්වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකී භාග්‍ය තවමත් මේ රටේ පුරවැසියාට ලබාදෙමින් සිටීම ප්‍රිතියට කරුණකි. ඔහු බලයට පැමිණියේ විධායකය අහෝසි කිරීම, නව මැතිවරණ ක්‍රමයක් ගෙනඒම ඇතුළු පොරොන්දු කීපයක් ජනතාවට දෙමිනි.
දින සියයේ විප්ලවයට එකී පොරොන්දු ඇතුළු තවත් ජනතා සහන රැසක් ඇතුළත් විය. එකී සහනවලින් කොටසක්ද ප්‍රධානම පිළිලය වූ විධායකයේ බලතල සිඳීමටද ඔහු අවංක ලෙසම කැපවිය. එහිදී ඔහුට තවත් පොරොන්දුවක් ජනතාවට ඉටු කිරීමට දැඩි වුවමනාවක් ඇති බව පෙනී යයි. එනම් 20 වැනි සශෝධනයය. මේ වෙනස්කම් කරන බවට හා කළ යුතු බවට දැඩි ලෙස ප්‍රකාශ කළ පාර්ශවයන් වූයේ එ.ජා.ප. ය හා ජ.වි.පෙ. ය. එහෙත් ඔවුන් අද වැඩි වශයෙන් කතා කරනුයේ මහ මැතිවරණයක් පිළිබඳවය.
වඩා ඉක්මනින් මැතිවරණයකට යාමේ වාසි සහගත බව නිසා ඔවුන් ඊට හදිසි කරනවා විය හැකිය. එනමුත් ජනපතිට අවශ්‍යව ඇත්තේ දින සීයයේ පොරොන්දු ඉටු කිරීමය. සැබැවින්ම ජනතාවට හදිසි මැතිවරණ අවශ්‍ය නැත. ඔවුන්ට වඩා හදිසි තමන් පීඩාවට පත් කරන ක්‍රම වෙනස් කර ගැනීමටය. විධායක ජනපති ක්‍රමය මෙන්ම මැතිවරණ ක්‍රමය ද ඊට අදාළය.
ඡන්ද හදිස්සිය
එබැවින් එ.ජා.ප. යද ජ.වි.පෙ. ද පළමුව කළ යුත්තේ ජනතා හදිසියට මුල් තැන දීමය. ඉන් පසු ඔවුන් මැතිවරණයකට යන්නේ ජනතාවගේ වීරයන් බවට පත් වෙමිනි. එවිට ජයග්‍රහණය වෙනුවෙන් අමුතු වෙහෙසක් දැරීමට ඔවුන්ට සිදු නොවේ. මන්ද තමන් හමුවට එන්නේ තමන් වෙනුවෙන් සිය වගකීම් හා පොරොන්දු ඉටු කළ නායකයන් බව ජනතාව දන්නා නිසාය.
පසුගිය ආණ්ඩුව සමයේ අධිකරණය කෙබඳු හැසිරීමකට ලක්වූවාද යන්න ගැන පුන පුනා කීමෙහි අවශ්‍යතාවක් නැත. දැනටමත් ජනතාව ඒ ගැන දනිති. මේ ආණ්ඩුව බලයට පත්වූයේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බවට සපථ කරමිනි. එකී පොරොන්දුව රකින බවට අධිකරණයේ ක්‍රියාකාරීත්වයම සාක්ෂි දරයි. එහෙත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ පසුගියදා විදේශ මාධ්‍යයකට අදහස් දක්වා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ ලාල් විජේනායක මහතාය.
ඒ විශ්වාසනීයත්වය ගැන ඔහු දක්වා තිබූ අදහස් සුබවාදී නොවීය. පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී බව පවසමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.
එකී පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු යටතේ විභාග විය. ඉන් එක් විනිසුරුවරයකු ඉල්ලා අස්විය. එහෙත් අගවිනිසුරු නියෝග මත ද්වි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඊට අනුව ඔක්තෝබර් මස වෙන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට අතුරු තහනම් නියෝගයක් පැනවිණි.
නීතිඥ ලාල් විජේනායක මහතා පවසන්නේ මෙවැනි තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු බැවින් යළි අභියාචනයක් හෝ කළ නොහැකි බවය. එබැවින් තීන්දු දීමේදී ඊට අවශ්‍ය අධිකරණ බලය තිබේද යන්න ගැන සලකා බැලිය යුතු බව ඔහු කියා තිබුණි.
දිවි පුද්ගල විනිසුරු මඬුල්ලකට එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ හැක්කේ හදිසි අවස්ථාවකදී පමණක් බවද ඔහු පවසයි. ඒ අනුව මේ තීන්දුවේදී හදිසි කරුණක් ගැන සඳහනක් කරනොමැති බවද ඔහු පවසා ඇත. කෙසේ වෙතත් තවදුරටත් අදහස් දක්වන ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි තීන්දු නිසා යළිත් වරක් අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි බවය.
අධිකරණ ක්‍රියාවලියට බලපෑම් නොකිරීම ආණ්ඩුවක පරම යුතුකමය. එමෙන්ම යම් ආණ්ඩුවක් බලපෑම් කළා වුවද යම් ආණ්ඩුවක් අධිකරණයට බලපෑම් නොකළා වුවද එහි ස්වාධීනත්වය හා ගෞරවය රැකගැනීමට එකී පද්ධතියේ බලධාරීන් ක්‍රියා කළ යුතුය. එසේ නොමැති වුවහොත් රට අරාජික තත්ත්වයට පත්වීමේ මූලික වගකීම දැරිය යුතුවන්නේ රටක අධිකරණයයි. මන්දයත් රටක පුරවැසියාට සිය සාධාරණ අයිතිය පතා යෑමට වෙනත් ස්ථානයක් නැති බැවිනි.
කෙසේ වුවද මෙකී තීන්දුව සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශය විපක්ෂයේ විරුද්ධවාදීන්ට සටන් පාඨයක් වී ඇති සැටියෙකි. ඔවුහු සිය පොල් පරාල වැනි වැරැදි වසා ගැනීමට ඉඳිකටු වැනි වැරැදි මවාපාමින් සිටිති. කෙසේ වුවද අගමැතිවරයා මෙකී විරුද්ධවාදීන් ඉදිරියේ මීට වඩා සිය දේශපාලන ඥානය මෙහෙය විය යුතුය. අධිකරණය සම්බන්ධ සිය සීමාව කොතැනද යන්න ගැන දේශපාලකයා අවබෝධයෙන් සිටිය යුතුය. එමෙන්ම රට වෙනුවෙන් නිවැරැදි යුක්ති සහගත තීන්දු ගැනීමට අධිකරණය කැප වී සිටිය යුතුය. මෙකී තීන්දුව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ මෙවැනි ප්‍රකාශයකි.
‘අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩුව කිසි විදියකින් හෝ ඇඟිලි නොගසන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ අතුරු තහනම් නියෝගය කදිම සාක්ෂියක්’.
උපුටා ගැනීම - දිනමිණ පුවත්පත