2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්

2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්
  • SocialShare:

මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට සැලසුම් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ලංකාවේ කුරුඳු නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 25,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 19,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබනවා. ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම කුරුඳු අපනයනය කරනු ලබන්නේ ලතින් ඇමරිකානු කලාපයේ රටවල් වෙත වන අතර ඒ 60%ක ප්‍රමාණයක්. ඒ අතරින් මෙක්සිකෝව කැපී පෙනෙනවා.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසා සිටියේ, දැනට කුරුඳු අපනයනය තුළින් ලංකාවට වසරකට ඩොලර් මිලියන 250ක පමණ විදේශ විනිමයක් උපයා ගන්නා බවයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි භෝගයක් වශයෙන්ද කුරුඳු කර්මාන්තය පරිවර්තනය කිරීමට ද 2025 වසරේ සිට සැලැසුම් ක්‍රියාත්මකයි. ඒ අනුව මෙතෙක් ලද ආදායම දෙගුණයක් කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව සාම්ප්‍රධායිකව කුරුඳු වගාකර තිබෙන ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්ට අමතරව කුරුණෑගල, පුත්තලම, පොලොන්නරුව, අනුරාධපුරය හා මහවැලි කලාප වැනි ප්‍රදේශ වල කුරුඳු වගාව ව්‍යාප්ත කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් සකසා තිබෙනවා.
ජනක ලින්දර මහතා පවසා සිටියේ, චීනය සමග මේ වනවිට කුරුඳු අපනයනය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජනවාරි මස සිට චීනයට ද කුරුඳු අපනයනය කිරීමට අවස්ථාව හිමිවන බව ඔහු කියා සිටියා.එමෙන්ම ජපානය, ඇමරිකාව වැනි රටවලට ද කුරුඳු නිෂ්පාදන අලෙවි කිරීමට යෝජිතයි.
මීට අමතරව යුරෝපා සංගමය ඇතුළු රටවල් වලට ද කුරුඳු අපනයනය වැඩිකිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.
මෙරට කුරුඳු කර්මාන්තය වැඩි වශයෙන් අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය ලෙසින් වන අතර, එය අගය වැඩිකළ නිෂ්පාදන ලෙසින් අපනයනය කිරීමට හැකිනම් විදේශ විනිමය දෙගුණ කරගැනීමට පහසුවෙන්ම හැකියාව ඇත.
මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුරුඳු ව්‍යාපාරිකයින්ව අගය වැඩිකළ නිෂ්පාදන සඳහා පෙළඹවීමට ආධාර උපකාර කිරීමට කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව 2025 වසරේ සිට බලාපොරොත්තු වේ. ඒ සඳහා කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම, තත්ත්ව සහතික ලබාදීම, පුහුණු අවස්ථා ලබාදීම සහ නව දේශීය ආයෝජකයන් හඳුනා ගැනීම මූලික වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.