ළමා අපයෝජන සිද්ධීන් අවම කරගැනීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පසුගිය 09 වනදා අදාල සියලු අංශ එක්ව සාකච්ඡාවක් පැවැත්වූ බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙම බහු ආංශික යාන්ත්‍රණය ස්ථාපිත කරගැනීම සදහා සදහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සමග ශ්‍රී ලංකා පොලීසිය, අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂණ අධිකාරිය ආදී අංශ ආදී සියලු ආයතන, අමාත්‍යංශ එකතු වුණු බවද සිහිපත් කළේය.
මේ සදහා කැබිනට් පත්‍රිකාවක් දමා අවසර හිමිවූ බවද, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යොමු කළ කැබිනට් පත්‍රිකාවට ජනාධිපතිතුමාගේ නිර්දේශ සහ නිරීක්ෂණ ලැබී ඇතැයිද, දරුවෙකුට සිදුවන හිංසනයකින් පසු එම දරුවා අධ්‍යාපනයෙන් යම් විදිහකට ප්‍රතික්සේප වේ නම් එම අධ්‍යාපන ආයතනයෙන් පරිබාහිරව විකල්ප අධ්‍යාපන ක්‍රම එම දරුවාට ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු වන බව සඳහන් කළාය.
එමෙන්ම නිවසේදී සහ පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ ප්‍රශ්න සෘජුව ළමාරක්ෂක නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටද මෙහිදී අවධානය යොමුවන බව අවධාරණය කළාය.
ගෘහස්ථ වටපිටාවේ අනාරක්ෂිත දරුවන් පිළිබඳව යම් සිදුවීමක් සිදුවීමට පෙරම පවුල් පරිසරය තුළ අනාරක්ෂිත දරුවන් හඳුනාගෙන අවශ්‍ය කරන පූර්ව කටයුතු සූදානම් කිරීමට ජනාධිපතිතුමාගේ නිර්දේශය ලැබී ඇතැයිද පැවසුවාය.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය ජනමාධ්‍ය වාර්තාකරණයේදී රැකිය යුතු ආචාරධර්ම ගැන මෙන්ම මෙවැනි සිදුවීමක් සමාජ මාධ්‍යයේදී හා මුද්‍රිත මාධ්‍යයේ ප්‍රචාරණයේදී වින්දිතයාට හානියක් නොවන ලෙස මාධ්‍ය ආචාරධර්ම රකිමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව වගවිය යුතු බවට ඒකාබද්ධ තීරණයක් ගෙන ඇතැයිද සඳහන් කළාය.
මෙවැනි සිදුවීමක වින්දිතයන් වන දරුවන්ට මානසික හා සෞඛ්‍ය අංශයෙන් ඔවුන්ට සුභසාධනය සැලසීමටත් නැවත යථාවත්ව සමාජගත කිරීමට උපදේශන සේවාවේ වැදගත්කමත් එය පාසල් පද්ධතිය තුළ සක්‍රීය කරන්නේ කෙසේද යන්නත් එවැනි දරුවෙකු සිටින පවුලකට සබදතා වර්ධනය කරගන්නේ කෙසේද යන්න සහ එවැනි දරුවෙකු සිටින පවුලකට ලබාදිය යුතු උපදෙස් මොනවාද යන්න පිළිබදවද මෙවැනි සිදුවීමකින් පසු යම් දරුවෙකු ආයතන ගත වුවහොත් එම ආයතන ව්‍යූහය තුළ එම දරුවාට තිබිය යුතු ආරක්ෂණය මොනවගේද යන්න පිළිබදවද සාකච්ඡා කළ බව වැඩිදුරටත් පැවසුවාය.