අහිතකර මුහුදු තත්ත්වයන් හමුවේ නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර ජනතාවගෙන් දැඩි ඉල්ලීමක්.
2025 මැයි 30: දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය සහ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදේ ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කරමින්, අනතුරු වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව, හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සහ ගාල්ල, මාතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. එවැනි අවස්ථාවල මුහුදු රළ මීටර් තුනක් දක්වා ඉහළට නැගිය හැකි බැවින්, මෙම ප්‍රදේශවල කුඩා ධීවර යාත්‍රා සහ එක් දින ධීවර යාත්‍රා ධීවර කටයුතුවල නිරත වීමෙන් නැවත දැනුම් දෙන තුරු වළකින ලෙස දෙපාර්තමේන්තුව දැඩිව ඉල්ලා සිටී.
අවාසනාවන්ත සිදුවීම් වාර්තා වෙයි:
අධ්‍යක්ෂ ජනරාල් කහවත්ත මහතා අවධාරණය කළේ, කාලගුණ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මේ වන විටත් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි. පසුගිය මැයි 28 වන දින, හලාවත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය එක් දින ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් ධීවර කාර්මිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
තවද, ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් මැයි 28 වන දින පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රාවක් මේ වන තෙක් ගොඩබිමට පැමිණ නොමැති අතර, එහි සිටි ධීවර කාර්මිකයින් දෙදෙනාට සිදුවූයේ කුමක්දැයි තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ත්‍රිකුණාමලයේ මුහුදු තත්ත්වය අතිශයින් රළු බැවින්, මෙම යාත්‍රාව සෙවීම සඳහා වෙනත් යාත්‍රා යැවීමට පවා නොහැකි තත්ත්වයක් පවතී.
ගාල්ල ප්‍රදේශයේද කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් ධීවර කාර්මිකයින් තිදෙනෙකු අනතුරට පත් වූ නමුත්, ගොඩබිමට ආසන්නව පිහිටා තිබීම සහ නිශ්චිත ස්ථානය දැන ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව ඔවුන් බේරා ගැනීමට හැකි වී ඇත.
මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන සැලකිල්ලට ගෙන, මෙම අයහපත් කාලගුණික තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස සියලුම ධීවර ප්‍රජාවගෙන් අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඉල්ලා සිටියි.