මෙරට තරුණ තරුණියන්ගේ සහ ළමුන්ගේ පාරිසරික දැනුම ඉහළ නැංවීම සඳහා රජය කටයුතු කරන බවත් , රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් , ඒ සඳහා ගෝලීය වශයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය යෝජනා කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
පසුගියදා පැවැත් වූ 6 වන ආසියා-පැසිෆික් පරිසර බලධාරින්ගේ සංගමයේදී පාරිසරික හා දේශගුණික ක්‍රියාකාරකම් සම්බන්ධයෛන් ළමුන් සහ තරුණයින්ගේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ බවත් එම යෝජනාව සම්බන්ධයන් සමුළුවේ පැසසුමට ලක් වූ බවද අමාත්‍යවරයා කීය.
අගෝස්තු 26 දින සිට 29 වන දක්වා ෆීජි රාජ්‍යයේ පැවැත් වූ ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී රටවල් 33ක් අතුරින් රටවල් 05ක් තම යෝජනා ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා කීය
පරිසර අමාත්‍ය, වෛද්‍ය දම්මික පටබැඳි මහතා, අගෝස්තු 26 දින සිට 29 වන දින දක්වාපැවැත් වුණු 6 වන ආසියා-පැසිෆික් අමාත්‍ය සහ පරිසර බලධාරීන්ගේ සංසදයට සහභාගී විය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් පවත්වනු ලබන මෙම සමුළුව, සාමූහික පාරිසරික ප්‍රමුඛතා සහ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසියා-පැසිෆික් කලාපය පුරා සිටින අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්රැස් කරමින් සිදු කරනු ලබන වැඩසටහනකි.
ශ්‍රී ලංකාවට වැඩි පාරිසරික, තාක්ෂණික සහ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කලාපයේ හවුල්කාර රටවල් සමඟ සාකච්ඡා පැවැත් වූ බවද අමාත්‍යවරයා කීය.


