ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බෞද්ධ දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අරලියගහ මන්දිරයේදී පසුගියදා හමුවිය.
ටෙක්සාස් ප්‍රාන්ත රජය වෙසක් දිනය නිල වශයෙන් පිළිගත් බවත් ඒ සඳහන් නිල ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුම්වත් කරන ලදී.
2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා පැමිණෙන ලෙසද ධර්මදූත කණ්ඩායම අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට මෙහිදී ආරාධනා කළේය.
ටෙක්සාස්හී පැවැත්වෙන වෙසක් උත්සවය සැමරීම සදහා වත්මන් රජයෙන් ලබා දිය හැකි උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය හරින්නේ අමරසූරිය මෙනවිය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙම නිල වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් ඇමරිකාව ටෙක්සාස් වෙත වැඩම කිරීමටද නියමිතය.
සියවසකට ආසන්න කාලයක්, මෙම රටට පැමිණි ථෙරවාද, මහායාන සහ තන්ත්‍රයාන බෞද්ධ භික්ෂූන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන්, ඇමෙරිකානු ජනතාව සහ විවිධ රටවලින් පැමිණෙන ජනතාව සමඟ බුදුන්ගේ අකාලික ඉගැන්වීම් සහ බෞද්ධ භාවනා පිළිවෙත් සාර්ථකව බෙදාගෙන තිබෙන අතර මෙම උතුම් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස, 2025 මැයි 15 වන දින, ටෙක්සාස්හි ඔස්ටින්හි වෙසක් දිනය නිල වශයෙන් අමෙරිකා ටෙක්සාස් ප්‍රාන්තය විසින් පිළිගෙන ඇත.
පසුගිය වසර දෙක තුළ, ටෙක්සාස් විහාරය ලොවපුරා සිටින භික්ෂූන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ත්‍රිපිටක සජ්ඣායනා පිංකමක් පවත්වා ඇති අතර 2025 දී, භික්ෂූන් වහන්සේලා 200 දෙනෙකු සහභාගී වූ දින දහයක පිංකම් මාලව සාර්ථකව පවත්වා ඇත. එය ඇමරිකානුවන් සහ අනෙකුත් අය අතර සැලකිය යුතු ආධ්‍යාත්මික පිබිදීමක් ඇතිකර තිබේ.
ටෙක්සාස්හි පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 2-10 දිනවල, භික්ෂූන් වහන්සේලා 200 කට වැඩි පිරිසක් සහ ආරාධිත රාජ්‍ය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඊට සමගාමීව, බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. කිරිගරුඬ ගල් ස්තූප 840 ක් තුළ භාෂා 10 කින් ත්‍රිපිටක කැටයම් කිරීම සඳහා ඩොලර් මිලියන 200 ක චෛත්‍යයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.


