මඩකළපුව ශික්ෂණ රෝහලට ලබන වසරේ නව වාට්ටු සංකීර්ණයක්

මඩකළපුව ශික්ෂණ රෝහලට ලබන වසරේ නව වාට්ටු සංකීර්ණයක්
  • SocialShare:
  • වසර 20 කට ප්‍රථම වෛද්‍යවරයෙකු ලෙස තමන් සේවය කළ මඩකලපුව ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට විෂයභාර අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රථම වරට එක්වේ.  
  • අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට මේ වසරේ ප්‍රතිපාදන.
  • වකුගඩු ප්‍රතිකාර එ්කකයේ ඉදිකිරීම් මාස 02 ක් තුළ ආරම්භ කිරීමට පියවර.
  • භෞතික හා මානව සම්පත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට සැලසුම්.
  • මඩකළපුව දිස්ත්‍රික්කයටම අඩුපාඩුවක් ව පැවැති නව MRI යන්ත්‍රයක් මඩකළපුව ශික්ෂණ රෝහලේ ස්ථාපිත කිරීමට කඩිනම් පියවර.

 මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහල පසුගිය දා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයකට ලක්විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 589,172 ක ජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්කවල ජනතාවට ද ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මඩකලපුුව දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සමඟාමීව මෙම නිරීක්ෂණය සිදු කරන ලදී.

මෙහි දී මඩකලපුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, කිරීටක සත්කාර ඒකකය, මෞත්‍ර ලිංගික ශල්‍ය වාට්‌ටු, ශල්‍යාගාර, නේවාසික රෝගී ප්‍රතිකාර වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, රෝහලේ අනෙකුත් ප්‍රතිකාර අංශ මෙන් ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වයන් මෙන්ම ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් වු අතර, නේවාසික රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමට ද අමාත්‍යවරයා මෙහි දී කටයුතු කරන ලදි.

ඉහත එ්කක විසින් සිදු කරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් මෙන්ම සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදීම ද මෙම නිරීක්ෂණයේ දී සිදු වූ අතර, සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට  වර්තමානයේ පවතින ගැටළු පිළිබඳව කරුණු මෙන් ම අදහස් ඉදිරිපත් කිරීමට  අවස්ථාවන් ලබාදීමට ද  අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ දී පියවර ගන්නා ලදී.

දැනට වසර 20 කට පමණ ප්‍රථම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සීමාවාසික වෛද්‍යවරයකු ලෙස සේවයේ නිරත වු රෝහලක් වන මඩකලපුව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය විෂයභාර  අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ප්‍රථම වරට පැමිණීම මෙහි දී විශේෂ සිදුවීමක් විය.

විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වී ඉතා කෙටි කාලයක් තුළ නැගෙනහිර පළාතේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට පියවර ගනිමින් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කළ නිරීක්ෂණය සහ සේවා විධිමත් කිරිම සඳහා උපදෙස් ලබාදීම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්වීම විශේෂත්වයක් විය.

නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහලේ කටයුතු පිළිබඳව රෝහල් පාලන අධිකාරිය සහ  කාර්ය මණ්ඩලය සමඟ දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වන ලදි.

දීර්ඝ කාලීනව නොවිසඳුන ගැටළු බහුල පසුගිය කාලය තුළ තම නිරීක්ෂණයට ලක් වු රෝහල් අතර අඩුපාඩු වැඩිම රෝහල මඩකළපුව රෝහල බවත්, පසුගිය කාලය පුරා  අත්‍යාවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් සිදු ව නොමැති බවත්, එම ගැටළු නිරාකරණයට පියවරෙන් පියවර කටයුතු කරමින් රෝහලේ භෞතික හා මානව සම්පත් අඩුපාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

ප්‍රසව හා නාරිවේද ඒකකය ඇතුළු ප්‍රතිකාර වාට්ටු සහිත ගොඩනැගිල්ල වසර 80 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවත්, එම වාට්ටූ සංකීර්ණය සම්පූර්ණයෙන් ඉවත් කර නව වාට්ටු සංකීර්ණයක් ඉදිකළ යුතු බවට අදහස් කරන බැවින් කඩිනම් වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.  මහල් 06 ක නව වාට්ටු සංකීර්ණයක් සඳහා ප්‍රතිපාදන නොවැම්බර් මස අයවැය මගින් වෙන් කරමින් අදියර 03 කින් එම වාට්ටු සංකීර්ණය ඉදිකිරිමට කටයුතු කරන බව ද මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබීය. එමෙන්ම වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ඉතිරි ඉදිකිරීම් ඉදිරි මාස 02 ක කාලය තුළ ආරම්භ කිරීමට ද මෙහි දී තීරණය විය.  

හදිසි අනතුරු ප්‍රතිකාර ඒකක ගොඩනැගිල්ල ඇතුළු ඉදිකිරීම් කටයුතු සහ සම්පූර්ණ ‌නොකළ ගොඩනැගිලිවල ඉදිකිරීම් සම්පූර්ණ කිරීම සඳහා මේ වසර තුළ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත්, නව MRI යන්ත්‍රයක් රෝහල තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් ඉටුකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාවට මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ, මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේ. ගනේෂලිංගම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය මයිතිලි බාර්තෙලොට්, වෛද්‍ය කේ. මෝහනකුමාර්, රෝහල් ලේකම් වී. ක්‍රිෂ්ණකුමාර්, ප්‍රධාන ගණකාධිකාරි එස්. පුවනේෂ්වරන් යන මහත්ම මහත්මින් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරු, හෙද හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.