පොළොන්නරුව ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට

පොළොන්නරුව ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට
  • SocialShare:
  • රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත් හා කාර්යක්ෂම කිරීමට රෝහල් පරිපාලනයට උපදෙස්.
  • ගැටළු රැසකට එම මොහොතේ ම විසඳුම් ලබාදීමටත් පියවර.

උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව  ශික්ෂණ රෝහල පසුගිය දා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ විශේෂ නිරීක්ෂණයකට ලක්විය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලු රෝහල්  විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ  සංවර්ධනය කරමින් එම දිස්ත්‍රික්කයේ වෙසෙන 500,000 ක පමණ ජනතාවට මෙන්ම මඩකළපුව, අම්පාර, මාතලේ, ත්‍රිකුණාමලය, අනුරාධපුර වැනි අවට දිස්ත්‍රික්ක වල ජනතාවට ද  ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම විශේෂ නිරීක්ෂණය සිදු කරන ලදි.

මෙහි දී පොළොන්නරුව ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය,  ඇතුළු බොහෝ ඒකක මෙන් ම රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වයන්, ඉදිරි මෙහෙයුම් කටයුතු ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ නිරික්ෂණයට ලක් වු අතර, නේවාසික රෝගීන්ගේ සුවදුක් සොයා බැලීමට ද අමාත්‍යවරයා මෙහි දී කටයුතු කරන ලදි.

ඉහත එක් එක් ඒකකයන් විසින් සිදු කරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන් මෙන්ම සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වෙත උපදෙස් ලබාදීම ද මෙම නිරීක්ෂණයේ දී සිදු වූ අතර, සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට  වර්තමානයේ පවතින ගැටළු පිළිබඳව කරුණු මෙන් ම අදහස් ඉදිරිපත් කිරීමට  අවස්ථාවන් ලබා දීමට ද  අමාත්‍යවරයා මෙම නිරීක්ෂණයේ දී පියවර ගන්නා ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා කෙටි කාලයක් තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට පියවර ගනිමින් පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සේවාවක් ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සිදු කළ නිරීක්ෂණය සහ සේවා විධිමත් කිරිම සඳහා උපදෙස් ලබාදීම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පැසසුමට ලක්වීම විශේෂත්වයක් විය.

නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහලේ කටයුතු පිළිබඳව රෝහල් පාලන අධිකාරිය සහ  කාර්ය මණ්ඩලය සමඟ දීර්ඝ සාකච්ඡාවක් ද පවත්වන ලදි. මෙම සාකච්ඡාවේ දී රෝහලේ හදිසි ප්‍රතිකාර ඇඳන් ධාරිතාවය ඉහළ නැංවීම, MRI යන්ත්‍රයක අවශ්‍යතාව සපුරාලීම, අනතුරු හා හදිසි ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ  දෙවන අදියර යටතේ ඉදිකිරීම් අවසන් කිරීම, රෝහල සංවර්ධනයේ ප්‍රමුඛතා ලැයිස්තු,  අත්‍යාවශ්‍ය වෙෛද්‍ය උපකරණ ප්‍රමුඛතා ලයිස්තු මෙන්ම  විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, සෞඛ්‍ය කාර්ය සහායකයින් මුහුණ දෙන ප්‍රධානතම වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබඳව ද අමාත්‍යවරයා සාධනීය තීන්දු තීරණ රැසක් ගන්නා ලදි.

රෝහලට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර හා සත්කාර සේවාවන් ලබා දී ඔවුන් නීරෝගීමත් පුද්ගලයන් බව ට පත් කිරීම  සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලු දෙනාගේ වගකීම බව ද මෙරට සමස්ත ජනයා සුවපත් කිරීමේ වගකීම පහළම සේවකයාගේ සිට සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වා ම පැවරී තිබෙන බව ද අමාත්‍යවරයා  මෙහි දී අවධාරණය කරන ලදි. පොළොන්නරුව ශික්ෂණ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනයට සැළසුම් ගත වැඩපිළිවෙලක් තුළ ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදි.

එමෙන් ම  ජපානයේ හොංකොං හි ස්වේච්ඡා පදනමක් වන "GS CHARITY" පදනම විසින් රෝහල වෙත පරිත්‍යාග කරන ලද රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා යොදා ගන්නා රුධිර කාන්දුකරණ යන්ත්‍ර 02 ක්  මැදවච්චියේ ධම්ම ජෝති හිමි විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීම ද මෙහි දී සිදුවිය.

මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, නිවාස හා  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පී බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ  නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද  කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.