ජීවිතයක් ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමඟ අනතුරු වළක්වා ගන්න කැපවෙන්න

ජීවිතයක් ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමඟ අනතුරු වළක්වා ගන්න කැපවෙන්න
  • SocialShare:

ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතා මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත්, නීති රීති මගින් පමණක් නොව අවබෝධයෙන් යුතුව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Clean Sri lanka වැඩසටහන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ පොලීසිය එක්ව සංවිධානය කළ, " Take Care රැකෙමු මඟතොට" මැයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

මාර්ග අනතුරු වළක්වා ගැනීම පිළබඳ පාසැල් සිසුන් දැනුම්වත් කිරීම ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් විසින් සිදු කළ අතර, දිස්ත්‍රික්ක විසිපහ ම ආවරණය වන පරිදි පාසැල් විසිපහක් වෙත පාසැල් රිය නියාමකයින්ට අවශ්‍ය උපකරණ බෙදා දීම ද අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මෙහි දී සිදු කෙරිණ.

සමාරම්භක අවස්ථාව අමතමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

Clean Sri Lanka ව්‍යාපෘතිය මගින් කරන තවත් වැදගත් වැඩසටහනක් ලෙස මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්.මාර්ග අනතුරු අද වන විට රටේ විශාල ව්‍යසනයක් බවට පත්වෙලා. ඛේදවාචකය කියන්නේ මේ සියල්ල අපට වුවමනාව සහ කැපවීම තියෙනවා නම් වළක්වාගන්න පුලුවන් දේවල් වීමයි.

මාර්ග අනතුරු නිසා දවසකට හත් දෙනෙක් මිය යනවා, මේ ව්‍යසනය අපි නතර කළ යුතුයි. මාර්ග අනතුරුවලින් මියගිය, අබාධිත වුණ, තුවාල වුණ සියලු දෙනා මේ රටේ පුරවැසියන්, කාගේ හරි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, සහෝදරයෙක් සහෝදරියක් හෝ දරුවෙක් කවුරු හෝ අනතුරට පත් වෙනවා නම් ඒක මේ සියලු දෙනාටම බලපානවා. අනතුරු පිළිබඳ වාර්තා වන සංඛ්‍යා ලේඛන කියන්නෙ නිකම්ම ඉලක්කමක් විතරක් නෙමෙයි ඒ තුළ ලොකු කථාවක් තියෙනවා.

රිය අනතුරු වළක්වා ගන්නවා කින්නෙ නීතියට අවනත වීම පමණක් ම නෙමෙයි. තව කෙනෙක් ගැන හිතන, ජීවිත ආරක්ෂා කිරීම තම වගකීමක් ලෙස සිතන, සහකම්පනයෙන් යුතුව කටයුතු කරන සමාජයක් නිර්මාණය කිරීමත් අවශ්‍යයි. එවැනි ලස්සන රටක් නිර්මාණය කිරීමටයි රජය උත්සාහ කරන්නෙ.

දඬුවමට පෙර අධ්‍යාපනය, නීතිය ක්‍රියාත්මක කරන්න පෙර ආදර්ශය, චෝදනාවට පෙර සැලකිලිමත් වීම අත්‍යවශයයි. දෙමව්පියන් ආදර්ශමත් වීම, රියදුරන් ජීවිත ආරක්ෂා කිරීමට කැපවීම, දරුවන්ට මාර්ග නීති පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම වගේම පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජනතාව දැනුම්වත් කිරීම අවශ්‍ය බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට Clean Sri Lanka වැඩසටහන නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම් රසල් අපොන්සු, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල, රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුව, යන ආයතනවල නිලධාරීන්ද, දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ගුරුවරුන්, පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.