කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන්, බස් රථයේ කාර්මික දෝෂයක් හෝ වෙනත් රථයක ගැටීමක් පිළිබඳ අදාළ කමිටුවට අනාවරණ වී නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව සඳහන් කරයි.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට අදාළව පත් කරන ලද කමිටුවේ කමිටු වාර්තාව ඊයේ (11) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වෙත භාර දුන් අතර, එම අවස්ථාවේදී කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
පසුගිය මැයි මස 11වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය - මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC - 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ කතරගම ඩිපෝ අධිකාරීවරයාට නඩු පැවරීමට ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.
මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරුන්ට වගකීමක් පවතින බවත්, ඒ අනුව කටයුතු නොකරන නිලධාරීන්ට විනයානුකූල පියවර ගැනීමටත් අදාළ කමිටුව පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත.