ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි , ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 4 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජායිදීප් මසුම්දර් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඉන්දියානු අගමැතිවරයාගේ නිල සංචාරය සම්බන්ධයෙන් අද (28) පැවැති විශේෂ ඉන්දීය මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
මෙම සංචාරය දෙරටට ඉතා වැදගත් වන බව පැවසූ ඒ මහතා එහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වන බවද පැවසීය.විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ආගමික , සංස්කෘතික බැඳීමක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා දෙරට අතර සමීප ආර්ථික සබඳතාවන් පවතින බව ද පෙන්වා දුන්නේය. එසේම දෙරට අතර අන්‍යෝන්‍ය ආර්ථික වාසි පිළිබඳව මෙන්ම ආයෝජන අවස්ථාවන්, බලශක්තිය , ඩිජිටල්කරණය , ප්‍රදානයන් පිළිබඳව අප්‍රේල් මස 5වැනි දින ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව විශේෂ අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන බව පවසන ඒ මහතා එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් හමුවීමටද නියමිත බව පැවසීය. සංචාරයේ අවසන් දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමග ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැඳපුදා ගන්නා බවත් එහිදී ඉන්දිය රජයේ සහයෝගීතාවයෙන් අනුරාධපුරයේ ව්‍යාපෘති දෙකක් ආරම්භ කෙරෙන බවත් සඳහන් කළේය.