රුපියල් මිලියන 100ක වියදමින් අනුරාධපුරයට නාගරික උද්‍යානයක්

රුපියල් මිලියන 100ක වියදමින් අනුරාධපුරයට නාගරික උද්‍යානයක්
  • SocialShare:

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " යන රජයේ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන් වැඩිහිටියන් ඇතුලු සියළු ජනතාවට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩ සටහන පසුගිය දා ආරම්භ කරන ලදි.

ඒ වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව රුපියල් මිලියන 100ක වියදමකින් ඉදිවන අනුරාධපුර කුම්බිච්චන්කුලම නවීන ආදර්ශ නගර උද්‍යානය අවන්හල්, විනෝද උද්‍යාන, ළමා උද්‍යාන, ක්‍රීඩා පහසුකම් සහ තවත් නව්‍ය අංග සහිතව අංග සම්පූර්ණ මහජන උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භකෙරිණි.
ලෝකයේ පවතින නව නිර්මාණ අනුව මෙම උද්‍යානය නවීන ආදර්ශ නගර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත ය. අනුරාධපුරය තුළ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමටත් , පැමිණෙන විදේශ සංචාරකයින්ගේ තෝතැන්නක් බවට අනුරාධපුර නගරය හා පූජා නගරය පත් කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ඇති කිරීම ද මේ හා සමඟම සිදු කරනු ලැබේ.
මෙ⁣ම අවස්ථාවට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්.කරුණාරත්න, උප නගරාධිපති සීතා හේරත්, නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි, නගර සභා මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, පළාත් සභාවේ නියෝජිතයින් ඇතුළු තවත් නිලධාරීන් සහ අනුරාධපුර නගරයේ වෙළෙඳ සංගමයේ පිරිසක් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.