මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදතුම් පියාණනි ඔබට ආයුබෝවන් !

    ජනවාරි 12, 2015

    විශ්ව කිතුණු සභාවේ නායක එඬේරික යෂ්ටිය දරමින් කතෝලික සභාවේ පාප්තුමා නොහොත් දෘෂ්‍යමාන නායකයා ලෙසට ද නොවරදින සුළු භාවයෙන් අභිසෙස් ලත් තැනැත්තා ලෙසට ද වතිකානු රාජ්‍යයේ වත්මන් නායකයා ලෙසට ද 2015 ජනවාරි 13 දින ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ අප නිජභූමිය වන ශ්‍රී ලංකා මාතාව වෙත සම්ප්‍රාප්ත වන අති උතුම් පළමු වන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ වතගොත පිළිබඳ ව දැනගැනීමට ආගම් බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකීක ප්‍රජාව මහත් උනන්දුවක් දක්වයි.

    දුගී දිළිඳුන් වෙනුවෙන් පෙනී සිට ප්‍රශ්න ඇති අය සොයා ගොස් ඔවුන්ට ආලෝකයක් වීමට ද ධනවාදයේ අඳුරු පැති පෙන්වා දෙමින් අඳුරට ශාප නොකර එක් පහනක් හෝ දල්වාලන්නට වෙර දරන අති උතුම් නායකයෙක් ලෙස පළමු වන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් ලෝ ජනීජනයා අතර කීර්තියට පත් ව ඇත.
     
    පාප් වහන්සේ යනු කවරෙක්දැයි කිතුණුවන් නොවන සර්වාගමික වූ ශ්‍රී ලාංකීකයන්ට ගැටලුවක් ඇති වීමට හැකිය. පාප් වහන්සේ යනු ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වූ ශුද්ධ වූ පේදුරුතුමාගේ අනුප්‍රාප්තිකයෙකි.2
     
    ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ එතුමාගේ අවසාන තුන් අවුරුද්ද පොදු ජනතාව සමඟ ගැවසෙමින් සිදු කළ දහම් සේවා කටයුතුවල දී එතුමාට ශ්‍රාවකයන් දොළොස් දෙනෙකු සිටි අතර ඉන් පළමුවැන්නා වූයේ පේදුරුතුමාය. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කතෝලික සභාව ඉදිරියට පවත්වා ගෙන යාමේ කටයුත්ත පැවරුවේ ශුද්ධ වූ පේදුරුතුමාටය.
     
    "ඔබ පේදුරුය. පේදුරු නමැති මේ පර්වතය පිට මාගේ සභාව ගොඩ නගන්නෙමි. මරණයේ බලයට වුවද එය පරාජය කළ නොහැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුර මම ඔබට දෙන්නෙමි. ඔබ පොලොවේ යමක් බඳිනු ලබන්නේ ද? එය ස්වර්ගයෙහි ද බඳිනු ලබන්නේ ය."  යනුවෙන් ප්‍රකාශ කරමින් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කතෝලික සභාවේ නායකත්වය පැවරූ බව ශුද්ධ වූ බයිබලයේ නව ගිවිසුමෙ හි සඳහන් වී ඇත.
     
     
    ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ  ස්වර්ගස්ථ වීමෙන් පසුව ක්‍රි.ව. 33 සිට ක්‍රි.ව. 64 හෝ 67 දක්වා පමණ ශුද්ධ වූ පේදුරුතුමා කතෝලික සභාවේ පළමු නායකයා ලෙස කටයුතු කර තිබේ.  එතුමාගේ මරණයෙන් පසු ක්‍රි.ව. 64 හෝ 67 සිට ක්‍රි.ව. 76, 77 දක්වා කතෝලික සභාවේ නායකයා ලෙස දෙවැනි වරට පත් වූයේ ශුද්ධ වූ ලීනූස්තුමාය. එසේ පාප්වරුන් පත් වී pope visited SLමිය යාමෙන් හෝ විශ්‍රාම යාමෙන් පසුව අනුප්‍රාප්තිකයන් පත් වී වර්තමානයේ සිටින්නේ 266 වැනි ශුද්ධ වූ පාප්තුමා ය. එතුමා පළමු වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වන අතර අප ලක් බිමට පා තබනා තෙවන පාප් වහන්සේ වේ. මීට පෙර 1970 වසරේදී 06 වන ජුවාම් පාවුළු පාප් වහන්සේ ශී‍්‍ර ලංකාවේ චාරිකා කළ අතර, 1995 වසරේදී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත විය.
     
     
    පළමු වන ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් ජෝර්ජ් මරියෝ බර්ගොග්ලියෝ නමින් වර්ෂ 1936 දෙසැම්බර් 17 වන දින ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් හිදී උපත ලැබීය. ඉතාලි ජාතික සම්භවයක් සහිත එතුමන්ගේ පියා වූ මරිය ජෝසේ බර්ගොග්ලියෝ වන අතර මව රෙජිනා සිවෝරි ද වෙයි. ඉතා සාර්ථකව සිය උසස් අධ්‍යාපනය නිමාකරන බර්ගොග්ලියෝ රසායනවිද්‍යා කාර්මික ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර කෙටි කලකින් පැවිදි දිවියට ඇතුළු වීමට තීරණය කරයි.
     
    ප්‍රථමයෙන් එතුමා පදවි දෙව්සත්හලට ඇතුළත් වූ ආධුනික සොහොයුරෙකු ලෙස ක්‍රි.ව. 1958 මාර්තු 11 වන දින ජේසු නිකායට ඇතුළත් විය. ජේසු නිකායේ ආධුනික සොහොයුරෙකු ලෙස එතුමන් "මානව විද්‍යාව" පිළිබඳ චිලි හි සන්තියාගෝ හිදී අධ්‍යාපනය ලබා 1963දී නැවත ආර්ජන්ටිනාවට පැමිණ "දර්ශන විද්‍යාව" පිළිබඳ උපාධියක් ද හිමිකර ගනී. ඉන්පසුව එතුමා වර්ෂ 1964-1966 කාලය තුළ ආර්ජන්ටිනාවේ උසස් විදුහල්වල සාහිත්‍ය හා දර්ශන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. නැවතත් වර්ෂ 1967-1970 කාලය තුළ ශාන්ත ජෝසේ උසස් විදුහලේ දේව ධර්මය පිළිබඳ හදාරා දේව ධර්මය පිළිබඳ උපාධියක් ද හිමි කර ගනී.
     
    ක්‍රි.ව. 1969 සැප්තැම්බර් 03 වන දින බර්ගොග්ලියෝ සහෝදරතුමා පූජාත්වරය ලැබුවේ අගරදගුරු රමොන් ජෝසේ හිමිපාණන් අතිනි. පූජාත්වරයෙන් පසු 1973-1971 කාලය තුළ ස්පාඤ්ඤයේ පුහුණුවට යවනු ලැබූ බර්ගොග්ලියෝ පූජකතුමා 1973 අප්‍රේල් 22 වන දින ජේසු නිකාය තුළ අවසන් වේදහාර ලබා ගන්නා ලදී. පසුව ආර්ජන්ටිනාවේ විශ්වවිද්‍යාල හා විදුහල්වල විවිධ තනතුරු දරමින් සිටි බර්ගොග්ලියෝ පියතුමා 1973 ජූලි 03 ආර්ජන්ටිනාවේ ජේසු නිකායේ ප්‍රාදේශියාධිපති ලෙස පත්වීම් ලැබීය‍.
     
    වසර 6ක් එම ධූරය හෙබ වූ එතුමා 1980-1986 කාලය තුළ නැවතත් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දරමින් සිටි අතර 1986 දී නැවතත් සිය උපාධි නිබන්ධනය සම්පූර්ණ කිරීම සඳහා ජර්මනියට ගිය එතුමා පෙරලා පැමිණ ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් හි සැල්වදොරේ විදුහලේ අධ්‍යාත්මික අධ්‍යක්ෂක පියතුමා ලෙස කටයුතු කළේය.
     
    මෙම වකවානුව වන විට බුවනොස් අයර්ස් හි අගරදගුරු තුමන් වූ කාර්දිනල් ඇන්ටොනියෝ හිමිපාණන් සමීප සහයකයෙකු පතමින් සිටි අතර ශාන්ත දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියා ඒ සඳහා 1992 මැයි 20 වන දින නම් කරනු ලැබුවේ ගරු ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ (ජේ.නි.) පියතුමාවයි. ඒ අවුකාහි නාමධාරී රදගුරුතුමන් ලෙස හා බුවනොස් අයර්ස් හි සහයක රදගුරුතුමන් ලෙස පත්වීම් පිරිනැමිනි. 1992 මැයි 27 අගරදගුරු කාර්දිනල් හිමිපාණන් අතින් රදගුරු අභිෂේක ලබාගත් එතුමා ඒ හා සමඟම ෆ්ලොරෙස් දිස්ත්‍රික්කයේ අනුනායක තනතුරට ද පත් කරනු ලැබීය.3
     
    කලක් බර්ගොග්ලියෝ යුව රදගුරුව සිට 1998 පෙබරවාරි 28 ආර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් අගරදගුරු වසමේ මහා එඬේරාණන් ලෙස බර්ගොග්ලියෝ හිමි පදවි ප්‍රාප්ත විය. 2001 පෙබරවාරි  21 ශු. දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියා කැඳවූ කාර්දිනල් සංසදයේ දී බර්ගොග්ලියෝ කාර්දිනල් ධූරයෙන් පිදුම් ලැබීය.
     
    සිය කාර්දිනල් ධූර ප්‍රදානෝත්සවයට වතිකානයට නොපැමිණෙන ලෙස සිය ජනතාවගෙන් ඉල්ලා සිටි එතුමාණෝ එම ගමනට වැය වෙන අධික මුදල දුප්පතුන්ගේ සුබසාධනය සඳහා යොදවන ලෙස ඉල්ලා සිටියහ. මිලියන 3කට අධික කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකින් සමන්විත බුවනොස් අයර්ස් අගරදගුරු පදවිය මනාව ප්‍රතිසංවිධානය කරමින් අපොස්තලික සේවාවන් ශක්තිමත් කරමින් තම පදවිය නිවැරදි දැක්මක් ඔස්සේ මෙහෙය වූ බර්ගොග්ලියෝ කාරදිනල් හිමි නිරායාසයෙන්ම ලතින් ඇමරිකාව පුරා කීර්තිමත් නාමයක් හිමි සභා පියවරයෙකු බවට පත් විය.
     
     
    සරල දිවි පෙවෙතක් ගෙන යමින් පොදු ප්‍රවාහන සේවාවන් තුළ ගමන් බිමන් යමින් දුප්පතුන්ගේ, පීඩිතයන්ගේ හා උදව් අවශ්‍ය වූවන්ගේ උවමනාවන්ට සංවේදී වෙමින් විශ්ව සභාව තුළ විවිධ තනතුරු දරමින් ජනතාවගේ ඕනෑ එපාකම් දන්නා සැබෑ එඬේරෙකු ලෙස ජනතාවට සමීපව ජනතාව සමඟ එතුමෝ කාලය ගත කළහ.
     
    2005 වසරේ දී දෙවන ජුවාම් පාවුළු සුදතුම් පියාණන් ස්වර්ගස්ථ වීමෙන් පසුව අති උත්තම සොලොස්වන බෙනඩික් සුදතුම් පියා තේරී පත් වුණ සසුන් පිය නිලවරණයට සහභාගී වූ බර්ගොග්ලියෝ කාරදිනල් හිමි දෙවැනි වූයේ එදා තේරී පත් වූ රැට්සිංගර් කාර්දිනල් හිමිට පමණි. කෙසේ හෝ 2013 පෙබරවාරි 28 අති උත්තම සොලොස්වන ශුද්ධෝත්ම පිය ධූරයෙන් ඉසිඹු ලැබූ පසුව 2013 මාර්තු 03  පැවති සසුන් පිය නිලවරණයෙන්  උත්තරීතර ශුද්ධෝත්තම පිය ධූරය සඳහා තේරී පත්වූයේ ආර්ජන්ටිනාවේ සිට පැමිණි බර්ගොග්ලියෝ කාර්දිනල් හිමිපාණන්වය.
     
    අසීසියේ ශුද්ධ වු ෆ්‍රැන්සිස් මුනිඳුන්ට ගෞරව වශයෙන් "ෆ්‍රැන්සිස්" යන නාමය තෝරාගත් එතුමන් එවක් පටන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෙස පදවි ප්‍රාප්තව ජන හදවත්වල ගෞරවාදරයට පත් විය.
     122
    නමුදු එතුමන් පිදුම් ලැබූ  පාප් තනතුරෙන් නොව "රෝමයේ රදගුරුතුමා" ලෙසට ද "සමස්ත ලෝකයේ මීසම් සේවක" එතුමන් විසින් ම එතුමන්ව ජනතාවට හඳුන්වාදීම නිසා පාප් පදවිය ලෞකික සන්නමක් නොව එඬේරික දූතික කාර්යයක නියැලෙන සේවකයෙකු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලොවට හඳුන්වා දී ඇත.
     
     
    අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම්  පියාණන්ගේ ලංකාගමනය පිළිබඳ ආරංචිය ප්‍රසිද්ධ වූ වහාම ඇතැම් දෙස් විදෙස් පිරිස් මේ පිළිබඳ අප්‍රසාදය පළ කරමින් කතා කරන්නට පටන් ගත් අතර විශේෂයෙන් ම මානව හිමිකම් කඩ කළ පැවති සිවිල් යුද්ධයේ අමිහිරි මතක නංවමින් මෙම සංචාරය නවත්වන්නට ද ඇතැම්හු උත්සාහ කළහ.
     
     
    කෙසේ වෙතත් සුදතුම්  පියාණන්ගේ ලංකාගමනය පිළිබඳ සාවද්‍ය කරුණු රැසක් ලොව වටා සැරිසැරූ බැවින් මෙය මුළු මහත් ලෝකයාගේම අවධානට ලක් වූවක් ම වේ. සුදතුම්  පියාණන්ගේ පැමිණීම හුදු රාජ්‍ය නායකයෙකුගේ රාජ්‍ය සංචාරයක් හෝ වාණිජ අරමුණක් කේන්ද්‍ර කරගත් නිරීක්ෂණ චාරිකාවක් නොවන බව ශ්‍රී ලාංකීකයන් දැනුවත් වීම ඉතා වැදගත් වේ.
     
    ඒ අනුව අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම්  පියාණන්ගේ ලංකා සංචාරයේ අරමුණු දෙකකි. එය රාජ්‍ය නායකයෙකු සහ ආගමික එඬේරෙකු ලෙස දෙආකාරය. වතිකානය යනු නිදහස් ස්වාධීන රාජ්‍යයක් වන අතර එහි නායකයා අති උතුම් සුදතුම්  පියාණන්ම වේ. කිසිම ලෝක අර්බුදයක පාර්ශවකරුවෙකු නොවූවද වතිකානය එවන් අර්බුද නිරාකරණය කිරීමේ දී මඟ පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කරයි. යුද හමුදා බලයක් නොමැති මෙම රාජ්‍ය කිසිදු රටක් සමඟ  යුද ගිවිසුම්වල නොබැඳේ. නමුත් සුදතුම් පියා සාමයේ පණිවුඩය රැගෙන යුද ගැටුම් පවතින ඊශ්‍රායලය, සිරියාව හා යුක්‍රේනය වැනි රටවල ද සංචාරය කර ඇත.0009
     
    වතිකානය හා ශ්‍රී ලංකාව අතර ඍජු දේශපාලන හෝ ආර්ථික, වෙළෙඳ ගිවිසුම් නැතත් තානාපති සම්බන්ධකම් පවතී. නමුත් අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම්  පියාණන් ලංකාවට පැමිණෙනුයේ මෙරට කතෝලිකයන් තාඩන පීඩනවලට ලක්වෙනවාදැයි සොයා බලා යුද්ධයේ පශ්චාත් සමයේ මිනිසුන්ගේ මානව හිමිකම් කඩ වී ඇත්දැයි නිරීක්ෂණය කර ලොවට පෙන්වා අප රටට අපකීර්තියක් අත් කර දීමට නොවන බව සර්වාගමික ශ්‍රී ලාංකීකයන් දැනුවත් විය යුතුය. ලෝකයේ කෝටි එකසිය විස්සක් බැතිමතුන්ගේ නායකයා වන, දෙසිය හැට වැනි පාප් වහන්සේ මෙරටට සම්ප්‍රාප්ත වන්නේ කිතු දහමට අනුව සභා නායකයා ලෙස සිය බැටළු රැළ වෙත වඩාත් සමීපවීමට හා අපට ඇහුම්කම් දීමට විනා ප්‍රශ්න කිරීමට නොවන බව දැනුවත් වීම වැදගත් වේ.
     
    Joze-Vazඑම අරමුණ පෙරදැරිව පැමිණෙන අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම්  පියාණන්ගේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පළමු ශුද්ධවන්තයා වීමට වාසනාවන්ත වන භාග්‍යවත් ජුසේ වාස් පියතුමා සාන්තුවරයට එසැවීමට ය.
     
    ශ්‍රී ලංකාවේ කතෝලික ශාසනයේ පුනරුත්ථාපනයේ පීතෘවරයා වන ජුසේවාස් පියතුමන් 16 හා 17 වැනි සියවස්වලදී කතෝලික විරෝධීන්ගේ තාඩන පීඩනවලට ගොදුරුව සිටි සමයක උන්වහන්සේගේ වීරෝධාර දූතික සේවාව මඟින් අප රටේ කතෝලික විශ්වාසය යළි උත්ථාන කළේය.
     
    ඒ අනුව 2015 ජනවාරි 14 වැනිදා උදෑසන භාග්‍යවත් ජුසේවාස් මුනිතුමන්ව ශුද්ධවන්ත භාවයට ඔසවන බව සිරිලක ගාලු මුවදොර දී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉදිරියේ පාප් වහන්සේ විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
     
    ගාලු මුවදොර පැවැත්වෙන දේව මෙහෙයෙන් පසු එදිනම පස්වරු 02.00ට පමණ මඩු දේවස්ථානයට සැපත්වන ශුද්ධෝත්තම පියතුමා එහිදී ජපමාල උච්චාරණය හා යැදුම් මෙහෙයකට සහභාගී වීමට නියමිතය.
     
    ජනවාරි 15 වන දින උදෑසන දිවයිනෙන් පිටව යාමට මත්තෙන් අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බෝලවලාන, "සොළොස්වන බෙනඩික්ට් සුදුතුම් පිය සංස්කෘතික ආයතනයේ දෙව් මැඳුරට" සැපත්වීමට ද අපේක්ෂා කෙරේ.
     
    ආගමික සහජීවනයෙන් සබැඳි කිතුණු බොදුණු සැම සිත් පහන් කරන්නට අති උතුම් ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් "ආයුබෝවන්" යැයි පතමින් මේ ලක් දෙරණට සාදරයෙන් පිළිගනිමු.
     
    : ශෂිනි දිලේෂා ප්‍රනාන්දු
    111
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya