නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුමය සොයා.... ශිෂ්ඨාචාරයක කතාවක්....

    පෙබරවාරි 15, 2023

    හා ගල්කණුවලට කතා කළ හැකිනම් අපේ වන එහෙත් අප නොදන්නා ශිෂ්ඨාචාරයක කතාවක් කියනු ඇත.

     

    ''ඉහළ ශිෂ්ඨාචාරමය අගයකට උරුමකම් කියන අනුරාධග්‍රාමය අද ගරාවැටුණු නටඹුන්වලින් පිරි තැනක් වුවද ජීවමාන ඉතිහාසයක උත්තුංගබව මහපොළොවේ සදාතනික දායාදයක් කරන්නට එය ලෝකයට තිළිණ කළ හැකි කුසුමක් ලෙසින් පුද දෙන්නට මෙරට සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, පළාත් සංචාරක අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ගෙතූ වියමන හේතුවෙන් අපි ඒ මහා දායාද ලත් බිමෙහි ඇවිද ගියෙමු. 

    මේ ඒ කතාවයි.''

    මහත් වූ ඉවසීමක් ප්‍රගුණ කළ මානුෂ ගුණයෙන් පිරි මිනිසුන් සේම පරිකල්පනයෙන් ඔබ්බට අදටත් කළ නොහී ඉදිකිරීම් අපේ කතාව ඉදිරියට ගෙනයනු ඇත. සමාධියෙන් වැජඹෙන සමාධි බුදුරුව අටලෝදහම ගැන කම්පා නොවී අදටත් සමාධියෙන් වෙනස්වීම හා වෙනස්කම ගැන කියාදෙනු ඇත. රජරට නැතහොත් රජුන් තැනූ දේශය ලෙස අනුරාධපුර රාජධානිය හඳුනාගන්නේ එය ඇතිවීම බිහිවීම හා පරිහානිය අතර කාලය තුළ ක්‍රමික වර්ධන අවධියේ කාල පරාසයත් එම රාජධානිය විසින් තැනූ රාජ පරම්පරාවන් අපමණ රජවරුන් නිසාත්ය. සියවස් 15කට අධික කලක් මෙරට රාජධානියව පැවතුනේ රජරටය. ඒ පස්වැනි මහින්දගේ දුර්වල පාලන සමය සමඟ එය බිඳ වැටෙන තෙක්ය.

     

    ඉතිහාසයේ පානගන ගමනේදී අප සමඟ ඉතිහාසයේ රසතැන් බෙදාගන්නට සංචාරක මඟ පෙන්වන බුවනෙක දේශප්‍රිය බණ්ඩාර මහතාත් ලලිත් ප්‍රියශාන්ත මහතාත් එක්විය.

    වෙස්සගිරියේ කතාවwessa2


    අනුරාධපුර පූජා නගරයේ දකුණු දෙසට වන්නට පිහිටි සුන්දර ඉසුරුමුණි විහාරයට ආසන්නව විශාල ගිරිකුළුවලින් ගහන ගල් තලාවක් සහිත නිස්කලංක වෙස්සගිරිය නමින් හැඳින්වෙන එම පූජා භූමිය, අනුරාධපුර යුගයේ ආරම්භය දක්වා විහිදී යන ඉතිහාසයක් ඇති බිමක් ලෙස දක්වන්නට පුලුවන්.


    ක්‍රි.පූ 3 වන සියවසේ අනුරාධපුර යුගයේ රජකම් කළ දෙවන පෑතිස් රජතුමා විසින් ඉදිකෙරුණු මෙම විහාරය තුළ භික්ෂූන් වහන්සේලා 500ක් පැවිදිව වාසය කළ බව වංශකතාවල සඳහන්වේ. ඉතිහාස මූලාශ්‍රවල වෙස්සගිරි විහාරය පිළිබඳව සඳහන් වුණත්, මෙය නියම වෙස්සගිරිය විහාරය බව ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂ්‍යයක් මෙම භූමියෙන් හමු වී නැහැ.


    එහෙත් අද වන විට වෙස්සගිරිය මේ යැයි හඳුන්වනවා. වෙස්සගිරිය නොහොත් විශ්‍රවස්ගිරි ලෙසින් හඳුන්වන මේ පැරණි වෙහෙර සංකීර්ණය රහතුන් වහන්සේලා විසූ පර්වතය යන නමින් වෙස්සගිරි යන නම යෙදුනේ යැයි යන්නත්, දෙවැනි පෑ තිස් රජුගේ කාලයේ වෛශ්‍ය කුලයේ ප්‍රභල පවුල්වල පිරිස් 500ක් මහණ වූ හෙයින් වෛශ්‍ය ගිරිය හෙවත් වෙස්සගිරිය වූයේ යැයි යන්නත් පුරා විද්‍යා මත දෙකක් වෙස්සගිරි නමට ඇත.

    එමෙන්ම පුරා විද්‍යාවට පිටතින් ප්‍රවාදයක් ලෙස රාවණාගේ සීයා වුණු විශ්‍රවස් මුණි මෙහි වාසය කළ නිසා එදා විශ්‍රවස් ගිරි ලෙසින් හැඳින්වුණු ප්‍රදේශය පසුව වෙස්සගිරිය වුණු බවට ද මතයක් ඇත. ඒ කෙසේ වෙතත් මෙය කටාරම් කොටන ලද ලෙන් විහාර 23කින් සමන්විත වන අතර වෙස්සගිරිය සිට ඉසුරුමුණිය දක්වා දිවෙන ආරාම සංකීර්ණයක් පවතුනේ යැයි පුරාවිද්‍යාව සාක්ෂි දරයි. කෙසේ වෙතත් පැරණි ථේරවාදී සංකල්ප මොනවාට පිළිබිඹු වන මෙම ලෙන් විහාර සංකීර්ණය බුදු දහමේ හරට අපූරුවට කියාපාන අසිරිමත් නිදර්ශනයකි.

     

    “අගත අනගත චතුදිස සඟස දිනෙ” සිවුදිසින් පැමිණි නොපැමිණි සියලුම භික්ෂුන්ට පවරා දෙමි. මෙම ආරාම සංකීර්ණය තුළ පැහැදිළි බ්‍රාහ්මී අක්ෂරයෙන් කැටපත් කර ඇත. එමෙන්ම බුදු දහමේ මුඛ්‍ය හරය වන උස් මිටිකම් කුලය හෝ බලය නොසළකා බුදු දහම සියල්ලට සර්වසම වන බව පසක් කරන කැඩපතක් වැන්න වෙස්සගිරිය,

    අද අභයගිරි සම්ප්‍රදායික පෞද්ගලික ලාභ උදෙසා පෞද්ගලික දේපළක් ලෙස විහාර පරිහරණය කරන සම්ප්‍රදායයක් හටගෙන තිබුනද ඉතිහාසය තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ අතීත වර්තමාන හා අනාගත භික්ෂුන් වහන්සේට එදා අතීතයේදී පොදුවේ ආරාම පිදූ බවට හොඳම නිදසුන වෙස්සගිරිය බවට පත්වන්නේ නිතැතිනි. භාවනා යෝගී භික්ෂුන්හන්සේට දිගු කලක් පහසුවෙන් භාවනා කිරීමට හැකි පරිදි වෙස්සගිරියේ ලෙන් නිමවා ඇති අතර පෙර සිටි ගල්වඩුවාගේ හැකියාව ලෝකයට විශ්මයක් එක්කරන නිර්මාණයක් ලෙස වෙස්සගිරිය හැඳින්විය හැකිය.

    “මෙතැන විශේෂ ස්ථානයක්. මෙම ස්ථානය තුළ භික්ෂුන් වහන්සේලා සැතපී භාවනා කිරීමට හෝ සැතපී සිටීමට භාවිතා කළ ස්ථානයක්.”ලලිත් ප්‍රියශාන්ත මහතා කටාරම් කෙටූ ගලක් පෙන්වමින් අපට පසක් කළේ ඔහුගේ මේ සම්බන්ධ දැනුම අපටද බෙදාදෙමිනි.

    “මේ තියෙන ලෙන් විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් විසින් පූජාකරල තිබෙන ඒවායි. ඒ සම්බන්ධයෙන් ලෙනෙහි කටාරමට ඉහළින් සඳහන් කර තිබෙනවා. උඩින්ම සඳහන් කරන ලද බ්‍රාහ්මී අක්ෂරයෙන් ක්‍රිස්තු වර්ෂ 05 සියවන වන විට කාශ්‍යප රජුගේ කාලයේදී මෙහි වැඩිදියුණුවක් සිදුවෙනවා. මෙහි ඇතුලත ලෙන් සිතුවම් දකින්නට තිබෙනවා.” ඔහු අපට සිතුවම් පෙන්වමින් පැවසීය.

    ඇත්තෙන්ම සීගිරියේ අප්සරාවන් මෙන්ම වෙස්සගිරියේදී අප්සරා චිත්‍ර කළකට ඉහතදී ඉතා සොඳුරු අයුරින් සිතුවම් කොට තිබෙන්නට ඇතැයි සාක්ෂි දරන යන්තමින් පෙනෙන සිතුවම් අපට පෙනෙන්නට විය. “ඒ කාලයේදී මේ ස්ථානය බෝ උපුල්වන් කසුප් වෙහෙර කියලා තමයි හඳුන්වා තිබෙන්නේ. ඒ කියන්නේ බෝ උප්පලවන්නා කියන්නේ කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා කියලා තමයි හඳුන්වා ගන්නේ.” ලලිත් මහතා තවත් අපට පැහැදිළි කළේය.

    වෙස්සගිරියේ නිමැවීමම ඉතාම විශ්මයජනක වන අතර පැරණි ස්ථූප සම්ප්‍රදායය එනම් අභයගිරි සම්ප්‍රදාය තුළින් පැනනැඟුණු වෛතුල්‍යවාදී ලක්ෂණ සහිත ස්ථූප සම්ප්‍රදාය වෙනුවට සෙල්මුවා ඡත්‍ර ඉහළන කුඩා ස්ථූප ලක්ෂණ මෙහි දක්නට ලැබේ.

    එනම් මහා දාගැබ් වෙනුවට අලංකාර එහෙත් ගෞරවනීය අයුරින් වන ස්ථූප මෙහි පැවති බවට ඉතිහාසය සාක්ෂි දරයි. අද දක්නට නොලැබෙන එහෙත් ඉතිහාසය තුළ ඉහළින්ම තිබූ ථේරවාද සම්ප්‍රදායය හා එහි උත්තුංග ගුණාංග ආරක්ෂා වූ බව ඉතිහාසය තවමත් සාක්ෂි දරයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස් මේ දෙසට යොමුකළ හැකි නම් මේ නිර්මාණයේ අගය පෙන්වා දිය හැකිනම් කිසිවකුගේ ඇස් එයින් ඉවතට නොගනු නොඅනුමානය. ස්වර්ණ මත්ස්‍යයන් පිහිනන රන් මසු උයන ස්වභාවික පරිසරයේ අපූර්වත්වය තීව්‍ර කරමින් තම නිර්මාණ කුසලතාවය හා තාක්ෂණික ඥානය මෙහෙයවා පුරාණ හෙළයන් විසින් කරන ලද මාහැඟි උද්‍යාන අලංකරණයක් අනුරාධපුර ඉසුරුමුණියේ සිට මීටර් 200ක් පමණ උතුරු දෙසට පිය නැගූ විට රන් මසු උයන හමුවේ.wessa3

    රජවරුන්ගේ පරිහරණය සඳහා තැනූ බව කියන පොකුණු යුගලයකින් රන්මසු උයන සමන්විතය. වසභ රජතුමාගේ කාලයේ අනුරාධපුර නගරයේ වන උයන් හා පොකුණු කරවා ඒවා පස් පියුමින් අලංකරණය කොට මසුන් හා හංසයන්ද ඇතිකළ බව මහාවංශ ගත්කරුවරුන් පවසයි. ස්ථානයේ බෑවුම් සහිත තත්ත්වය හා තිසා වැවේ ඉවුරේ ශාන්ත පරිසර තත්ත්වය සැලකිල්ලට ගෙන උයන සැලසුම් කර ඇති අතර තිසා වැවෙන් ලබා ගත් ජලය උයන ඔස්සේ ක්‍රමානුකූලව ගලා යාමට නළ පද්ධතියක් ඉදි කර පොකුණු කිහිපයක්ද තනවා ඇත. ග්‍රීෂ්ම කාලයට ගැලපෙන කුඩා එළිමහන් ගෙවල්, මණ්ඩප,ස්නානාගාර හා වැතිර සිටීම සඳහා ගල් යහන් ආදිය තනවා උයන ඉතා අලංකාරව පවත්වාගෙන ගොස් ඇත.

    ස්වර්ණ මසුන් පිහිනන උයන රන්මසු උයන වූයේ යැයි මේ සම්බන්ධයෙන් වන කතාබහකි. එ මෙන්ම දේවානම්පියතිස්ස රජ සමයේ සිට අනුරාධපුරයේ රජකළ රජවරුන්ගේ විනෝද උයන වූයේ රන්මුසු උයනයි. ලංකා ඉතිහාසයේ ප්‍රේම වෘතාන්තයක් වන්නේ සාලිය හා අශෝකමාලා පෙම් පුවතයි. දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හට අශොකමාලාවන් හමුවූයේද මෙම උයනේ දී බව පැවසේ.

    “මේ ස්ථානයේ පොකුණු දෙකක් දකින්නට තිබෙනවා. එක් පොකුණක් රජතුමා ස්නානය කළ මගුල් පොකුණ ලෙසත් අනෙක් පොකුණ රාජ වංශික කාන්තාවන් ස්නානය කළ පොකුණ ලෙසත් හඳුන්වන්න පුළුවන්.” අපගේ අනෙක් ඉතිහාසයේ සහයකයා බුවනෙක දේශප්‍රිය බණ්ඩාර මහතා අපට පැහැදිළි කළේය. ඇත්තෙන්ම පොකුණු දෙකෙන් මගුල් පොකුණ යැයි සැළකෙන පොකුණේ රාජ්‍යත්වය පෙන්වන ස්ථම්භ එක් පසෙක කැටයම් කර තිබුණු අතර අනෙක් පොකුණේ දිය කෙළියෙහි යෙදී සිටින ඇතුන්ගේ රූප කැටයම් කර තිබිනි. නාරි ලාලිත්‍යය ඇත් ගමනට සමාන කරමින් ඉතිහාසය තුළ කාව්‍ය රචනා වූ බවත්, ඉතිහාසය හස්ති නාරි කුංජරිය වැනි නිර්මාණ තුළ ඇතුන්ගේ සහ ලියන්ගේ සමානකම් පෙන්වාදුන් බවත් නොරහසකි.

    එම පොකුණ සිට ඉදිරියට යන අපට ලාංකේය ඉතිහාසය තුළ ඉතාමත් ගුප්ත මෙන්ම විචිත්‍රවත්ම නිර්මාණයක් හමුවේ. ඒ රන්මසු උයනේ රූප සහිත සංඛේත චක්‍රය වන අතර එයට ( ස්ටාර්ගේට්) තරු දොරටුව ලෙස හදුන්වයි. රන්මසු උයනට අයත් අංක 34 නම් ලෙනෙහි විශ්ව චක්‍රය ලෙස හඳුන්වනු ලබන රූප සහිත මෙම විශේෂ සංඛේත චක්‍රය දැකගත හැකිය. මීටර 1.8 ක පමණ විශ්කම්භයක වෘත්තයකින් යුතු මෙහි විවිධ ජ්‍යාමිතික හැඩතල හා සත්ව රූප දක්නට ලැබේ. වෘත්තයේ පිටත කොටසේ ජලජ සත්ව රූප පිහිනා යන අයුරින් දක්වා ඇත. එම සත්වයින් අතර මතස්‍යයින්, හක් බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවා, මුහුදු අශ්වයා, මුහුදු සිංහයා හා දැල්ලෙකු යැයි සිතිය හැකි ජලජ ජීවීන් වේ.

    මෙහි සටහන් වෘත්තය මධ්‍යයේ සම සතරැස් කොටුවක් තුළ වෘත්ත හතකි. ඒ වටා විවිධ පරිමාවෙන් යුතු කොටු දක්වා තිබෙන අතර සෑම කොටුවක් මැද කිසියම් ජ්‍යාමිතික හැඩතලයක් බැගින් දැක්වේ. එම හැඩතල අතර කොටස් හතරකට බෙදන ලද කුඩා වෘත්ත කිහිපයක්ද, ඡත්‍රයකට සමාන සංඛේතද, හඳුනාගත නොහැකි හැඩතලද වේ.

    wessa2මෙම චක්‍රයේ ඉහල කොටසේ පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන්, පනති පනශ යනුවෙන් පාඨයක් වේ. එහි තේරුම පනස් තුනක් යන්න වේ. මේ චක්‍රයේ ඇති සත්ව රූප හා ජ්‍යාමිතික හැඩතල වල එකතුව එක සමාන වන අතර සත්ව රූප විස්ස හා ජ්‍යාමිතික හැඩතල තිස්තුනක එකතුවද පනස් තුනක් වේ. ඒ අනූව සෙල්ලිපියේ අන්තර්ගතය හා චක්‍ර සටහනේ එකතුවද එකිනෙක ගැලපෙයි.

    මෙයින් අටලෝ දහම පෙන්වා දෙන යන්ත්‍රයක් වන්නට හැකියාවක් ඇති බවත්, එසේ නොමැති නම් පටිච්ච සමුප්පාදය වැනි ධර්මතාවක් වන්නට හැකි බවත්, යම් මත කිහිපයක් මතුව ඇත. එම මත තහවුරු කරන භාවනා යෝගීන් වෙනුවෙන් පැනවූ ආසනයක්ද එම ඉදිරිපසින් පිහිටා ඇත්තේ සිත එකඟ කරගැනීම සම්බන්ධයෙන් මෙම සූත්‍රය යොදාගත් බවට සාක්ෂිද ඉතිහාසයට එක්කරමිනි.

    “මේක සමහර පිරිස් විශ්වාස කරනවා පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙන එකක් කියලා. ඒ වගේම තව මතයක් තියෙනවා මේ ලෝකෙ ඉතාමත් දියුණු ජීවීන් කාලෙකට පෙර සිටියා කියලත් ඔවුන් මේ ලෝකය අතෑරලා ගියා කියලාත්” මෙම නිර්මාණය සම්බන්ධයෙන් අප මාර්ගෝපදේශක බුවනෙක දේශප්‍රිය පැවසීය. “ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් තියෙන තව මතයක් තමයි මේක මහායානික නිර්මාණයක් කියලා. මහායානයේ බලපෑම නිසා ඇතිවුන එකක් කියලාත් මේක අදහසක් තිබෙනවා.” මේ සම්බන්ධයෙන් ලලිත් අප සමඟ ඔහුගේ ඌණ පූර්ණයත් එක්කළේය.

    මහාවිහාර සම්ප්‍රදායට මහා සාංඝික භික්ෂුන්ගෙන් පැවතගෙන ආ වෛතුල්‍යවාදී සම්ප්‍රදායය මේ වන විට එක්වී තිබූ නිසාවෙන් මෙම අදහසෙහි සත්‍යතාවක් තිබෙන්නටද හැකියාවක් ඇත. එසේ නොමැති නම් බොහෝවිට ප්‍රධාන බෞද්ධ සම්ප්‍රදායයන් තුළ පැවති තන්ත්‍රයානික බෞද්ධ ලක්ෂණ මේ තුළ අන්තර්ගතවූවේද යන්නත් මතයක් ලෙස ඉදිරිපත් විය හැකිය. මන්ද මේ සළකුණු තන්න්‍රයානයේ සළකුණුද මෙයට එක්වී ඇති නිසාවෙනි.

    කෙසේ වෙතත් අද වන විට බොහෝ පිරිස් සළකන්නේ මෙය වෙනත් විශ්වමානයක් සම්බන්ධයෙන් චිත්‍රරණය කළ අදහසක් බවයි. එනම් අප සිටින විශ්වයේ සිතියමක් ලෙස මෙය තිබෙන්නට ඇති බවත්,පෘතුවිය විශ්වය හා සම්බන්ධවීම මෙන්ම අපට සමාන්තර තවත් විශ්වමානයක් වීමේ හැකියාවක් මේ තුළ ඇති බවත්ය. මේ හා සමාන වෙනත් නිර්මාණ දෙකක් ලොව තුළ දකින්නට ඇති අතර පෙරූ රටෙහි පුරාන මායාවරුන් මේ ආකාරයටම නිර්මාණයක් කර ඇත. එමෙන්ම ඊජිප්තුවේද මේ හා සමාන නිර්මාණයක් දක්නට ඇත. එසේ නම් මෙම ශිෂ්ඨාචාර අතර අන්‍යෝන්‍ය වශයෙන් හෙළි කර නොගත් එහෙත් සමානතාවයන් රැසක් පවතින්නට ඇතැයිද සැළකිය හැකිය. ඒ කෙසේ වෙතත් වෙය අතිශයින්ම දියුණු කියවීමක් තුළ සිටි පැරණි හෙළදිවයන්ගේ යම් උසස් අදහසක් බවට නම් සැකයක් නැත.

    පන්කුලියේ ද්විත්ව මුද්‍රා සහිත බුදුන් වහන්සේ panku4

    අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි නටබුන් ආරාම අතරින් වැඩි දෙනෙක් නොයන, ඒත් ඉතා සුන්දර විහාරයක් ලෙස පන්කුලිය අශෝකාරාමය හැඳින්විය හැකිය. එහි පිහිටි මඳ සිනහවකින් යුත් හිඳි බුදු පිළිමය මෙරට කලාකරුවන්ගේ ඉතා විශිෂ්ට නිර්මාණයක් වනවාට සැකයක් නැත. සංඝමිත්තා මාවතේ උතුරු දෙසට පෙරිමියන්කුලම පසුකර කි. මී. 2ක් ගමන් කරන විට අශෝකාරාමය වෙත දිවෙන ගුරු පාර වන අතර මේ ගම පන්කුලිය ලෙස හඳුන්වයි. පන්කුලියට ළඟාවීමට හාල්පානු ඇලෙන් එගොඩ විය යුතු යි. මෙම පෙදෙස උතුරින් වගුරු බිමකින් ද, දකුණින් වෙල්යායකින්, නැගෙනහිරින් මල්වතු ඔයෙන්, හා බටහිරින් විශාල පොකුණකින් ද සිමා වී තිබේ.

    මෙහි ඇති බුදුපිළිමය සුවිශේෂී වන හේතු කීපයකි. හුණු ගල් ස්ඵටිකවලින් නිර්මාණය කළ මෙම ප්‍රථිමා වහන්සේ මද සිනහවෙන් වැඩ සිටීම මෙන්ම මුද්‍රා දෙකකින් සමන්විත වීම මෙහි පවතින විශේෂම ලක්ෂණය. එක් අතකින් අභය මුද්‍රාව විය හැකි බවට සැළකෙන මුද්‍රවක සළකුණු පවතින අතර අනෙක් හස්තයෙහි විතර්ක මුද්‍රාව පවතී. එමෙන්ම සිරස්පතක්ද මෙම ප්‍රථීමාවේ දකින්නට නොමැත.

    “මේ විහාරය පබ්බත විහාර ගණයට වැටෙන විහාරයක් ලෙස ගන්න පුලුවන්. මේක භාවනායෝගීව වැඩවසන
    භික්ෂූන් වෙනුවෙන් ඉදිකරන ලද විහාරයක් විදිහට ගන්න පුලුවන්.” ලලිත් මහතා මේ සම්බන්ධයෙන් පැවසීය.
    කෙසේ වෙතත් මෙම විහාරයට ආසන්නයෙන් පිහිටි අභයගිරියේ එවකට ස්ථාපිත වී තිබූ මහායානික සම්ප්‍රදායේ බලපෑම මෙම විහාරයටද බලපෑ බවටද යම් සාධක මේ තුළ අන්තර්ගතය.

    මෙම විහාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විවිධ පුරාවෘත කතා පවතී. එයින් ජනප්‍රියම කතාව වන්නේ හීන කුලයේ කාන්තාවක වන අශෝකමාලා වෙනුවෙන් සාලිය විසින් මෙම විහාරය කරවූ බවයි. එයට හේතු සාධකලෙස ගෙන දක්වන්නේ එම ලෙනෙහි භික්ෂුනීන් සිටියේ යැයි තිබෙන සාධකයන්ය.

    කෙසේ වෙතත් මෙම විහාරය තුළ අපට හමුවන ශිලා ලේඛන ගාමිණී අභය රජ දවසට අයත් ඒවා නොව ක්‍රිස්තුවර්ෂ 05 වැනි සියවස හෝ ඉන් ඔබ්බට ලියවෙන ලද ඒවා බව දක්නට ලැබේ. පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම වෙහෙර ඉදිකරනු ලැබුවේ වසභ රජු යැයි සාධක පවතින බව පුරා විද්‍යාව සඳහන් කරයි. ඉන් අනතුරුව 09 හෝ 10 වැනි සියවස් තුළ මෙම වෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කරවූයේ යැයිද සඳහන්ය.

    එමෙන්ම මෙම විහාරය පබ්බත විහාර සම්ප්‍රදායයට නිමවන ලද වෙහෙරක් වන අතර ජලයෙන් වටවුණු ආයත චතුරසාකාර එකිනෙකින් උස්වන මළු කීපයක් විදිහටයි පබ්බත විහාර සකසා තිබේ. භාවනායෝගී භික්ෂූන් වහන්සේ උදෙසා නිස්කලංකව භාවනා කිරීම සඳහා මෙම විහාර නිමවා ඇති බව පැවසිය හැකිය.

    එමෙන්ම මහා විහාරය අභිබවා අභයගිරිය එනම් මහායාන සම්ප්‍රදාය ඉහළට පැමිණි යුගයක මෙම විහාරය ඇතිවීම අභයගිරියේ මහායාන බලපෑම තිබූ බව යම් යම් සාධක අපට පසක්කොට පෙන්වයි. කෙසේ වුවද ඉතිහාසයේ එක් මොහොතකදී ඇතිවූ බුදු සමයේ බෙදීම සංස්තෘතික පෝෂණයට දායක වූ බව මෙවන් විහාර ඇතිවීමත් ඒ තුළ මහායානික ලක්ෂණ පැවතීමත් පෙන්වා දෙයි.

     

    කදම්භ නදිය දියේ දිගටමpanku3

    මල් වතු ඔය දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනී. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය රිටිගල කන්දෙන් ඇරඹී අනුරාධපුර නගරයට සම්බන්ධව පසුව මන්නාරම් මුහුදු සිමාවෙන් අවසාන වන අතර කදම්බ නදී ලෙස අතීතයේදී හඳුන්වා ඇත. මෙරටට ආවේනික තඹලයා යන මත්ස්‍ය විශේෂයෙන් සමන්විත මල්වතු ඔය දිගේ ගමන් කරන විට ලතුවැකියා, මහ මානකොකා, මහ ඇලි කොකා, බටහිර පෙර කොකා, අලුකොකා, ගෝමර පිලිහුඩුවා වැනි ජලාශ්‍රිත කුරුලු විශේෂ රැසක් හමුවේ. එමෙන්ම බිඟු හරයා වැනි පක්ෂි විශේෂද අපට හමුවේ. එමෙන්ම මල්වතු ඔය තැනින් තැන අතීතයේදී කළ ඓතිහාසික ගල් පාලම් හමුවේ. එයින් සුවිශේෂීම පාලම හමුවන්නේ මල්වතු ඔයේ අනුරාධපුර ඇතුලු නුවර සිට උතුරු දිශාවට වන්නටය.

     

    ශ්‍රී මහා බෝධිය රැගෙන පැමිණ ඇත්තේද එම ගල් පාලම ඔස්සේ වන අතර අතීතයේදී චතුරංගනී සේනාවක් වුවද එගොඩවිය හැකි වන ආකාරයට එය ඉදිකර ඇත. එපමණක් නොව ගංවතුර තත්වයකදී වුවද පාලමට කිසිදු හානියක් නොවන ආකාරයට මෙම පාලම ඉදිකර ඇත. රජරට වසර 1500ක පමණ ඉතිහාසයක් මෙන්ම හෙළිදරව් නොවූ බොහෝ දේ සඟවාගෙන ගල්කැටයම් නටඹුන් හා ශිලා ලේඛණ අදටත් නොසෙල්වී අප දෙස බලා සිටී. අපට ඇත්තේ කෙටි කලක් වුවද ඉතිහාසයට විශාල කාලයක් ඇත.

     

     

    අපේ කියා පෙන්වන්නට පෞඩ ඉතිහාසයක් අප සතුව ඇත. වර්තමානය අතීතයෙන් වෙන්වන තැන මේ යැයි කියන්නට කිසිවකුට නොහැක. එමනිසා අතීතයට අනතීත වූ අප යන්නාසේම දෙස් විදෙස්හි අපේ ඉතිහාසය ගෙනයාමට හැක්නම් අගනේය.

     

     

    සංචාරයකින් පසු ලිව්වේ- අමිල ප්‍රදීප්

    ඡායාරූප- තුසිත චන්ද්‍රකුමාර-
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya