නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පොතුකබර රෝගීන්ගේ දිනය අදයි.. පොතු කබර ගැන ඔබ දැනුවත්ද?

    ඔක්තෝබර් 29, 2021

     

     

    ජගත් පොතුකබර රෝගීන්ගේ දිනය අදයි.. පොතු කබර ගැන ඔබ දැනුවත්ද?

    සෑම වසරකම ඔක්තෝම්බර් මස 29 වනදාට ජගත් පොතුකබර රෝගීන්ගේ දිනය යෙදී තිබෙනවා. ලෝකයේ මිලියන 12කට අධික ප්‍රමාණයක් පොතු කබර රෝගයෙන් පීඩා විදිනවා. ලංකාවේ ජන සමාජය තුළ මෙම රෝගය 2%ක පමණ ව්‍යාප්තියක් පවතිනවා. මෙලෙස සමාජයේ පැතිර පවතින පොතු කබර රෝගය යනු කුමක්ද?

    පොතු කබර එසේත් නැතිනම් සොරයිසිස් කියන්නේ දීර්ඝ කාලීනව පවතින නිදන්ගත චර්ම රෝගයක්.එහි මූලික හේතුව ජානමය ප්‍රවණතාවයක් වන අතර පාරිසරික හේතූන් මගින් උත්තේජනය වී ශරීරයේ ඇති වන ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ අසාමාන්‍ය සිදුවීමක් නිසා සමේ සෛල වේගයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒත් සමගම ඇති වන ආසාත්මිකතාවයක් හේතු කොටගෙන හමේ රතු පැහැති ලප සහිතව සුදු පැහැති කොරපොතු මතුවීමක් සිදුවෙනවා. ඒ සමග ඇතුලත ඉන්ද්‍රියන්ටත් හානි සිදුවිය හැකියි.

    මෙම පොතු කබර රෝගය වැඩිපුරම ඇතිවන්නේ අවුරුදු 20ත් 50ත් අතර පුද්ගලයින්ටයි. මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ඇතිවිය හැකි සේම පාරිසරික හේතූන් මත අපේ ජනසමාජයට සාපේක්ෂව යුරෝපීය සමාජය තුළ බහුල රෝගයක් වනවා. රෝගය ඇතිවීම හේතුවෙන් එහි විවිධ සංකූලතා පසුකාලීනව මතුවිය හැකියි. එම නිසා මෙහිදී දීර්ඝකාලීන ප්‍රතිකාර ක්‍රම නිසි පරිදි කිරීම ඉතාමත් අත්‍යවශ්‍යයි.

    පොතු කබර රෝගයට ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතින අතර රෝගයේ තීව්‍රතාවය මත ප්‍රතිකාර ක්‍රම තීරණය වෙනවා. ප්‍රතිකාර ක්‍රම තීරණය සදහා රෝගය ශරීරයේ ඇතිවූයේ කොතැනද, රැකියාව, කාර්යය බහුලත්වය ආදී සාධකද බලපානවා. ප්‍රතිකාර වල මුල්ම ක්‍රමය ලෙස ආලේපන හැදින්විය හැකි අතර මෙම ක්‍රමය යොදා ගැනෙනුයේ ශරීරයේ ඇතිවූ ස්ථානය මතයි. රෝග ලක්ෂණ ලෙස වියළි පොතු ගැලවී යාම මුලින්ම සිදුවන අතර මෙම වියළි බව නැතිකිරීම සදහා මොයිස්චර්රයිසර් භාවිතා කරනවා.

    රෝගයේ තීව්‍රතාවය වැඩි වුවහොත් ප්‍රතිකාර සදහා පෙති වර්ග භාවිතා කළ හැකියි. මෙය අතුරු ආබාධ ඇතිවිය හැකි බැවින් චර්ම රෝග සායනයකට යොමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වනවා. මේ සදහා භාවිතා කරන ගර්භණී සහ කිරිදෙන මවුවරුන් සදහාද ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ආලෝක කිරණ ප්‍රතිකාර ක්‍රමයද හැදින්විය හැකියි. එමෙන්ම තවත් ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් බයලොජික්ස් ප්‍රතිකාර ක්‍රමයද විශේෂ අවස්ථාවන්හිදී භාවිතා කළ හැකියි.

    හමේ ඇති වන පැල්ලමක් ලෙස හටගන්නා මෙම රෝගය රතුපාට ඉහලට එසවුණු අනෙක් සමෙන් වෙන්වූ පැල්ලමක් එසේත් නැතිනම් ලපයක් වශයෙන් පවතින අතර එහි රිදී පැහැති පොත්තක් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන්ම ශරීරයෙහි හිසෙහි සම මතුපිට මෙය ඇති වන අතර දණහිස, වැලමිට ආදී ස්ථාන වලද පිට පැත්තේ මෙය හටගන්නවා. ඇතැම්විට පෙකණිය වටේ මෙන්ම ශරීරයේ පිටුපසද ඇතිවිය හැකියි. උග්‍ර අවස්ථාවන් වලදී මෙය ශරීරය පුරාම ඇතිවීමට හැකියාවක් පවතිනවා.

    මෙම පොතු කබර රෝගය වැළදුණු විට ඇතැම් අවස්ථා වල කැසීම් ඇති වන අතර එසෙල කැසීම් ඇති නොවීමටත් පුළුවන්. මෙය හන්දි වලටද බලපෑම් සිදු කරන අතර රෝගීන්ගේ හන්දි ඉදිමීමක් සිදුවිය හැකියි. නියපොතු වලට බලපෑම් ඇතිකර නියපොතු කහපාට වීමට සහ ඇතැම් විට නියපොතු ගැලවී යාමටද ඉඩකඩ පවතිනවා.

    මෙම රෝගයට ජානමය බලපෑමක් ඇතත් අනිවාර්යයෙන්ම දෙමාපියන්ගෙන් දරුවන්ට යාමක් සිදුවන්නේ නැහැ. ඇතැම්විට පමණක් එලෙස දක්නට ලැබෙනවා. සමහර ඖෂධ, ආසාදන, මධ්‍යසාර සහ දුම් පානය නිසා මෙය ඇතිවිය හැකි අතරම අධික ස්ථුලභාවයද පොතුකබර රෝගය සදහා සෘජුවම බලපානවා.

    මෙම රෝගයෙන් වැළකීම සදහා නිසි පරිදි ජීවන රටාව සකස් කරගැනීම ඉතාම වැදගත් වනවා. එනම් ප්‍රමාණවත් නින්දක් ලබාගනිමින්, අධික මානසික ආතතිය පාලනය කරගනිමින්, සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සහ ස්ථුලභාවයෙන් මිදීමට නිතිපතා ව්‍යායාම කරමින්, මධ්‍යසාර සහ දුම් පානයෙන් වැළකෙමින් පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබාගැනීම ඉතාම වැදගත් වනවා.

    මෙය බෝ නොවන ආසාදිත රෝගයක්. මෙම රෝගීන්ගෙන් පවුලේ අයට මෙන්ම ළගින් ඇසුරු කරන්නන් හට රෝගය බෝ වීමක් සිදුවන්නේ නැහැ. මේ සදහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය වනවා.

    කොවිඩ් වසංගත සමය තුළ ප්‍රතිකාර පෙති බාවිතා කරන පොතු කබර රෝගීන් සමාජයේ වැඩිපුර නොගැවසෙමින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කිරීම වැදගත් වනවා. මෙම රෝගීන් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම ගැටලුවක් නොවන අතරම එන්නත් ලබාගැනීමට පෙර චර්ම රෝග වෛද්‍යවරුන් හමුවී ලබාගන්නා ප්‍රතිකාර වල යම් යම් වෙනස්කම් සිදුකර එන්නත ක්‍රියාකාරීත්වය වැඩි වන පරිදි ලබාගත හැකි වනවා.

    පොතු කබර රෝගය නිසා සමාජය තුළ ඇතමුන් අසහනයට පත්වී සිටිනවා. මෙය ඔබට පමණක් ඇති වූවක් නොවෙයි.. සමාජය තුළ සුලභයි. ඔබ කිසි විටෙක තනිවී නැහැ.. මෙම රෝගය සදහා නිසි ප්‍රතිකාර ලබාගෙන අසහනයට පත් නොවෙමින් හොදින් ජීවිතය පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි ඉතා වැදගත්..

    අදට යෙදී ඇති ජගත් පොතුකබර රෝගීන්ගේ දිනයට සමගාමීව අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි. මේ සදහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහනුවර ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය චාන්දනී උඩගෙදර මහත්මිය, අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශානිකා අබේකීර්ති මහත්මිය සහ කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා සහභාගී වූහ.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya