දෙසැම්බර් 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමු...

    ඔක්තෝබර් 12, 2021

     

     

    කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගනිමු.

    කොවිඩ් මධ්‍යයේ මානසික සෞඛ්‍ය....

    සෞඛ්‍යයෙන් තොර සංවර්ධනයක් නොමැත.. මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් නොමැත.. මෙම පණිවුඩ ද්විත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන්නක්. එය පිළිබදව සිතා බැලීමේදී මානසික සෞඛ්‍යයෙහි වැදගත්කම කෙතරම්ද යන්න අපට වටහාගත හැකියි. ඒ තරමටම මානසික සෞඛ්‍ය සෞඛ්‍යයේ කොටසක් වී අවසන්. ඇතැම් අවස්ථා වල මානසික සෞඛ්‍යයෙහි වැදගත්කම අපට අමතක වෙනවා.

    අද (12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාව කොවිඩ් 19 වසංගතය සහ ජනතාවගේ මානසික සෞඛ්‍ය යන්නයි. කොතලාවල ආරක්ෂක විහ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා, කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා මානසික සෞඛ්‍ය පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සහ එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබද සම්මානිත මහාචාර්ය අතුල සුමතිපාල මහතා යන සම්පත්දායකයින් තිදෙනා විසින් කොවිඩ් වසංගතය මධ්‍යයේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීම පිළිබදව මෙලෙස මනාලෙස අපව දැනුවත් කළා.

    සෑම වසරකම ඔත්තෝම්බර් 10 ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනවා. මෙවර එහි තේමාව වූයේ අසමාන ලෝකයක මානසික සෞඛ්‍ය යන්නයි. මෙය එක රටකට ප්‍රදේශයකට සීමා වූවක් නොවෙයි. ලෝකය පුරාම මිනිසුන් අතර පරතරය වැඩිවෙලා. සමහර අය වැඩි වශයෙන් පොහොසත්. ඇතමුන් වැඩි වශයෙන් දුප්පත්. මෙම කාරණයද මානසික සෞඛ්‍යයට බලපානවා.

    එනම් අපගේ එදිනෙදා කටයුතුද මානසික සෞඛ්‍යයට බලපානවා. මෙලෙස මානසික සෞඛ්‍ය පිළිබදව කතා කිරීමට කොවිඩ් වසංගතය එක් පසකින් උදවු වී තිබෙනවා. මානසික සෞඛ්‍ය අපි හැමෝටම වැදගත් කාරණයක්. එනම් අපි හැමෝටම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනයට දායක විය හැකියි.

    අප දැනුවත්ව හෝ නොදැනුවත්ව කොවිඩ් වසංගතය පැතිකඩ 03කින් අපගේ මානසික සෞඛ්‍යයට බලපා තිබෙනවා. ඒ මේ ආකාරයෙනුයි.. 01. කොවිඩ් නිසා අපට සිදුවූ යම් යම් අහිමිවීම්, 02. කොවිඩ් නිසා අපට සිදුවූ යම් යම් එකතුවීම්, 03. කොවිඩ් නිසා අපට මුහුණපෑමට සිදුවූ යම් යම් වෙනස්වීම් ලෙසයි.

    අපට මෙම තුන් තත්ත්වයන් සදහාම අපගේ මානසික සෞඛ්‍ය සකසා ගනිමින් හැඩගැසීමට සිදුවෙනවා. මෙහිදී සදහන් කළ අහිමිවීම් යන්නට කොවිඩ් නිසා සිදුවූ ජීවිත අහිමි වීම් සැලකිය හැකියි. ජීවිත අහිමිවීම් වලදී පවුල් වල සාමාජිකයන් අහිමි වීම සැමදෙනාගේම මානසික සෞඛ්‍යයට සෘජුව බලපෑම් කළ කාරණයක් වෙනවා. වසංගතය හමුවේ ජීවිත අහිමි වීමේදී සාම්ප්‍රදායික අවමගුල් කටයුතු කරගැනීමේ ගැටලු මතුවෙනවා. අපගේ සංස්කෘතිය තුළ සත්‍ය වශයෙන්ම කතා බහට ලක්වූයේ මළගෙයක් පිළිබදව නොවෙයි මළගමක් පිළිබදවයි. වචනයේ පරිසමාප්තියෙන්ම ඒ තුළ සාමූහිකව දුක බෙදාගැනීමක් ගැබ්වෙනවා. අපගේ ආගමික සංස්කෘතික සහ සාමාජීය සිරිත් විරිත් වලට අනූව මරණයක් වූ විට සිදුකරන සාමූහික චාරිත්‍ර පවුගේ ඥාතීන්ට දුක තුනී කරගැනීමට උපකාරී වෙනවා. මෙම වසංගතය හමුවේ අවමගුල් කටයුතු ඥාතී සහභාගීත්වයකින්ද තොරව එදාම සිදුකිරීමෙන් පවුලේ උදවියට දුක බෙදාගැනීමට නොහැකි වුණු අතර ඔවුන්ට සිදුවූයේ නිශ්ශබ්දවම දුක උහුලා ගැනීමටයි. මෙය මානසික සෞඛ්‍යයට බලපානවා.

    වසංගතය හමුවේ අහිමිවීම් වල තවත් ස්වරූපයක් වූයේ ආදායම් මාර්ග අහිමි වීමයි. මෙහිදී රැකියා අහිමි වීම හෝ ආදායම් ලැබෙන මාර්ග අහිමි වීම හේතුවෙන් පුද්ගලයගේ ආර්ථිකයට සිදුවූ බලපෑම මානසික සෞඛ්‍යයටද සෘජුවම බලපෑම් එල්ල කරනවා.

    පීඩාවන් අඩුකර ගැනීම සදහා බොහෝ අය මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වූවා. එයට හොදම උදාහරණය වූයේ මත්පැන්හල් වසා තබා විවෘත කරන අවස්ථාවේ මිනිසුන් ඒ සදහා වැඩි වශයෙන් යොමු වෙමින් ඔවුන්ගේ දැඩි ඉල්ලුම ප්‍රකට කළ අවස්ථාවයි.

    කොවිඩ් නිසා අපගේ ජීවිතයට සිදුවූ වෙනස්කම්ද විවිධාකාරයි. ඒ අතර නිවසේ සිට වැඩ කිරීමට බොහෝ දෙනා හුරු විය. එය අලුත් තත්ත්වයක් මෙන්ම එහි හොද සහ නරක පවතියි.ඇතමුන්ට එමනිසා යම් යම් අපහසුතාද මතුවූවත් ඒ සදහා හැඩගැසීමට සිදුවිය. ළමයින්ටද නිවසේ සිට පාසල් අධ්‍යාපනය හැදෑරීමට සිදුවිය. ඇතැම් ළමුන්ට මෙහිදී දුෂ්කරතා මතුවුණද බොහෝ විට මෙම තත්ත්වයට හැඩගැසීමට ළමයින්ට සිදුවිය.

    කොවිඩ් හේතුවෙන් සිදුවූ එකතුවීම් අතරට සමාජයේ වැදගත් එකතුවක් ලෙස දරුවන්ට වැඩිවශයෙන් පරිගණක සහ දුරකතන සමග වැඩකිරීමේ අවස්ථාව හිමිවිය. මෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රවනතාද දක්නට වෙයි. මෙලෙස වෙනස්වීම්, එකතුවීම් සහ අහිමිවීම් වලට හැඩගැසීමේදී ඒවාට සරිලන පරිදි කෙතරම් දුරට මානසික සෞඛ්‍ය හැඩගැසිය හැකිද යන්න සලකා බැලීමද වැදගත් වෙයි.

    රූස්ස ගසක් වේද දුර්භීක්ෂයක් සපැමිණි කළ එයට ලොකු බලපෑමක් කළ නොහැකියි. නමුදු කුඩා පැළයකට දුර්භීක්ෂයක් හමුවේ තත්ත්වය වෙනස් වෙයි. ළමුන්ටද මෙම කාලය එලෙස බලපායි. කොවිඩ් වසංගතය හමුවේ ළමයින් හට පාසල නැමති මනෝ සමාජය අහිමි විය. පාසල් අධ්‍යාපනය අහිමිවී මාර්ගගත අධ්‍යාපනයට යොමු වීමත් සමග ළමයාට පාසල තුළින් හිමිවන බොහෝ දේ අහිමි විය.

    මෙම වකවානුව තුළ දරුවන් විශාදය, කාන්සාව සහ විද්‍යුත් තිර වලට ඇබ්බැහි වීම යන කාරණා මත වෛද්‍ය අපදෙස් සදහා යොමුවීම 20%කින් පමණ වැඩිවී ඇත. මනෝ සමාජීය පරිසරය මාර්ගගත අධ්‍යාපනය තුළින් ලබාගත නොහැකි වීම මෙයට ප්‍රධානතම හේතුවයි. එය නිවස තුළින්ද දරුවාට නොලැබෙයි.

    මෙම වකවානුව තුළදී විබාග පිළිබද දිනය අවිනිශ්චිත නිසා බොහෝ දරුවන් බියෙන් පසුවෙයි. ඇතැම්විට දෙමාපියන්ගේ තරහා සහ කනස්සල්ලේ කෙලවරද දරුවන් බවට පත්වෙයි. දරුවන්ට මෙම වකවානුවෙහි අසල්වාසී දරුවන් සමගද සබදතා පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. දරුවන් සිය කම්මැලිකම නැතිකරගැනීම සදහා සීනි සහිත ආහාර අනවශ්‍ය පරිදි ගැනීම සහ විද්‍යුත් තිර වලට ඇබ්බැහි වීම වැනි අහිතකර පුරුදු වලට හුරුවී සිටියි.මාර්ගගත අධ්‍යාපනය හේතුවෙන් ඇතැම්විට ඔවුන්ගේ නිදි අවධි චක්‍රයද කණපිට ගැසී ඇත. දරුවාට නිවස තුළ පාසලට සූදානම් වීම සදහා ආච්චී සීයාගෙන් දායාද වන පෙර පාසල නොහොත් නිවසෙන් ඉගෙනගන්නා දෑද මෙම වකවානුවේ අහිමිවී ඇත.

    මෙම කරුණු සියල්ල පිළිබද වැඩිහිටියන් වශයෙන් අවධානයට ගෙන දරුවාට වඩාත් ළගින් කටයුතු කරමින් ඔවුන් පිළිබද වැඩි වහයෙන් සොයා බැලීම ඔවුන් සමග කතා බහ කිරීම සහ ඔවුන් වෙනුවෙන් කාලය වෙන්කර ගනිමින් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙයි.

    එමෙන්ම මෙම වකවානුව තුළ ළමා වැඩිහිටි සැමගේ ශාරීරික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ද යහපත්ව පවත්වාගැනීම වෙනුවෙන් සිතා බලා කටයුතු කිරීම වැදගත් වෙයි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya