අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ස්ථාපිත ආබාධ සහිත තැනැත්තන් සඳහා මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කෙරේ

    සැප්තැම්බර් 23, 2021

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත අබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය
    ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අද (23) ජනතා අයිතියට පත් කරන ලදී.

    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයෝ එක්ව සේවා කේන්ද්‍රය විවෘත කළහ. සේවා මධ්‍යස්ථානය පිහිටුවීමට මුල් වූයේ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සුවිශේෂී අවශ්‍යතා කඩිනමින් හා බාධාවකින් තොරව සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණයි. ඊට සමගාමීව ආබාධ සහිත ප්‍රජාවගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා සකස් කළ විශේෂ යෙදවුම (APP) හඳුන්වා දීමද සිදු විය.

    රැස්ව සිටි පිරිස ඇමතූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද දවසට ශ්‍රී ලංකා ඉතිහාසය තුළ නව අර්ථකථනයක් ලැබුණු බව පැවසීය. ජාත්‍යන්තර සංඥා දිනය වන අද (සැප්තැම්බර් 23) ලංකාවේ ආබාධ සහිත සහෝදර ප්‍රජාවගේ මෙතෙක් නොලද අයිතීන් ලබාදීමේ ක්‍රියාන්විතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමට හැකි විණැයි අමාත්‍යවරයා කීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන අවස්ථාවේ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධාන නියෝජිතයින් සමග ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රතිශ්ඨාපනයට අදාළ සාකච්ඡාවට තමන්ද සහභාගි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. තමන්ට ඊට අදාළ කාර්යයභාරය සම්බන්ධව උපදෙස් ලැබුණු බව පැවසූ අමාත්‍යවරයා අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම පරිදි ආබාධිත සහෝදර ප්‍රජාවගේ අයිතිවාසිකම් ප්‍රශස්ත ලෙස සම්පූර්ණ කෙරෙන ඉදිරි ගමනක් අපේක්ෂා කරන බව අවධාරණය කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රාජ්‍යයක හෝ සමාජයක ශිෂ්ට සම්පන්න බව පිළිබිඹු ප්‍රබලතම දර්ශකයක් වන්නේ තම පුරවැසියන්ගෙන් ආබාධ සහිත සහෝදර ප්‍රජාවට නිසි
    පිළිගැනීමක් ලබාදීම බවයි. අධ්‍යාපනය වැනි විවිධ ක්ෂේත්‍ර වල මෙම සහෝදර ප්‍රජාවගේ සම අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය. ආබාධ සහිත ප්‍රජාවගේ භෞතික මෙන්ම මානසික සුවතාවද එකසේ ආරක්ෂා කිරීම සමාජයේ වගකීමකි.

    ආබාධිත සහෝදරයින්ට සිත් රිදීමක් ඇති නොවන පරිදි භාෂාව භාවිත කිරීමට ජනමාධ්‍ය ක්ෂේත්‍රයටද විශේෂ වගකීමක් පැවරේ. මේ සඳහා නෛතික ප්‍රවේශයක් විවෘත කරදීම ජනමාධ්‍ය
    අමාත්‍යාංශයේ ද වගකීමකි.
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම ආබාධිත සහෝදර ප්‍රජාවගේ සම අයිතිවාසිකම් සම්පූර්ණ කිරීමේ මෙහෙවරෙහි මූලාරම්භය පමණක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ස්වාධීන රූපවාහිනී සේවය සංඥා භාෂාවෙන් ප්‍රවෘත්ති විකාශනය අද ආරම්භ කරන බව ද පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා උසස් මානුෂවාදී සත්කාර්යයක් වන මෙම ක්‍රියාමාර්ගයට දායකත්වය දීමට හැකි වීම පිළිබඳව සතුට පළකළේය. උපතින් හෝ උපතින් පසුව ආබාධිත බව පත්ව ඇති අපගේම සහෝදර ප්‍රජාවට නිසි ගෞරවය හා සමාන ඉඩ ප්‍රස්ථා ලබාදීම රජයේ මෙන්ම සෙසු ප්‍රජාවගේ සුවිශේෂ වගකීමකි. ආබාධ සහිත තැනැත්තන් සඳහා මාධ්‍ය සේවා කේන්ද්‍රයට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල සපුරා ලීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපතිනි රසාංජලී පතිරගේ මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ගත් මෙම පියවර බෙහෙවින් අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ ලක්ෂ 16 කට වඩා ජනතාවක් ආබාධිත තත්වයෙන් පසුවන බව පැවසූ සභාපතිනිය ඉන් සියයට පහක් පමණ ආබාධ සහිත කාන්තාවන් බව හෙළිදරව් කළාය. ඔවුන් නිවෙස්වලට සීමා වී යැපෙන්නන් බවට පත්ව සිටින බව පැවසූ ඇය ජනමාධ්‍යයෙන් එවැනි පිරිසට වෘත්තීය හා සමාජයීය අවස්ථාවන් ලබාගැනීම සම්බන්ධ සාධනීය දැනුවත්කිරීම් කළ හැකි බව පෙන්වා දුන්නාය. මෙවැනි සේවා මධ්‍යස්ථානයක් සමස්ත ආබාධිත ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වන බව රසාංජලී පතිරගේ මහත්මිය අවධාරණය කළාය.
    ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ කමිටු සාමාජික රයන් සුසන්ත මහතා සංඥා බසින් සභාව ඇමතුවේය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී.විජේවීර, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ලේකම් කුලරත්න එදිරිසිංහ, කර්තෘ මණ්ඩල සංසදයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ, ශ්‍රී ලංකා විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංසදයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ලියනගේ යන මහත්වරු සහ
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ, ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන සංවිධාන නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    කොළඹ 05, පොල්හේන්ගොඩ, කිරුළපන මාවතේ, අංක 163, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත මාධ්‍ය සේවා කේන්ද්‍රය ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන නිසි පහසුකම් සහිතව සකස් කර ඇත.

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya