මේ දවස් වල හැමතැනම ඇහෙන්නේ කතාවෙන්නේ කොවිඩ් ගැන.. අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙත් කොවිඩ් හැම තැනම තියෙන වටපිටාවක. ඉතාම සීරුවෙන්... කොවිඩ් හැදිලා සුව වුණු බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. එවැනි ඇතැම් අයට කොවිඩ් සුවවූ පසුත් විවිධ අපහසුතා ඇතිවිය හැකියි.
කොවිඩ් රෝගීන් ප්‍රධාන වශයෙන් කොටස් 02ක් හමුවෙනවා. එක් පිරිසක් කොවිඩ් සෑදී බරපතල හෝ මධ්‍යම වශයෙන් බරපතල වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවීමෙන් පසු නිවෙස් කරා යන්නන්. අනෙක් කොටස කොවිඩ් වැළදී මද වශයෙන් රෝග ලක්ෂණ ඇතිවී නිවෙස්ගතව දින 14ක් නිරෝධායනය වී සුවය ලබන රෝගීන්.
මෙම දෙගොල්ලන්ටම රෝගය සුව වීමෙන් පසුත් විවිධ අපහසුතා ඇතිවිය හැකියි. නිවෙස්ගත නිරෝධායනය වන රෝගීන් එතරම් රෝග ලක්ෂණ නොපෙන්වුවත් දින 14න් පසු කැපීපෙනෙන ලෙස අපහසුතා මතුවීමේ හැකියාවක් පවතිනවා. ඔවුන්ගේ පශ්චාත් කොවිඩ් අපහසුතා ඒන-ම් කොවිඩ් සුවවීමෙන් පසුව ඇතිවන සංකූලතා වැඩියෙන් දැනීමට හැකියි.
මොනවද මේ පශ්චාත් කොවිඩ් අපහසුතා? ප්‍රධානම අපහසුතාවය වන්නේ මහන්සි වීමේදී මතුවන හුස්ම ගැනීමේ අපහසුතාවයයි. ගෙදර දොර සුළු වැඩ කටයුතු කිරීමේදී මෙම අපහසුතාවය මතුවිය හැකියි. අනෙක් අපහසුතාවය වනුයේ ඇගට අධික ලෙස දැනෙන තෙහෙට්ටුව, මහන්සිය සහ පණ නැති කමයි. මෙම ප්‍රධාන අපහසුතා දෙකට අමතරව විටෙන් විට මතුවන කැස්ස, හිසේ රුදාව, පපුවේ කැක්කුම, පපුවේ ගැස්ම ඇතිවීම, කෑම අරුචිය වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකියි. ඊටත් අමතරව නින්දයාම මද වීම, මතකය අඩුකම, ඇගපත රුදාව මෙන්ම ඇතැම් රෝගීන්ගේ මානසික තත්ත්වය යම් බලපෑමකට ලක්වීමටද හැකියාවක් පවතිනවා. රෝගීන් මිය යාම රෝහලේදී දැක තිබීම, මෙය මාරාන්තික ලෙඩක් වන බැවින් අධික ලෙස බිය වීම සහ පවුලේ හිතවතුන් කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් ලද අත්දැකීම් ආදිය නිසා මෙම මානසික බලපෑම් ඇතැම් රෝගීන් හට තරමක බලපෑම් එල්ල කළ හැකියි.
එසේ වුවද මෙම රෝග ලක්ෂණ හැම පුද්ගලයාටම ඒක ලෙස නොවැළදෙන අතරම එක එක පුද්ගලයන් හට විවිධාකාර ලෙස බලපානවා. මෙවැනි අපහසුතාවයන්ගෙන් පෙළෙන බොහෝ රෝගීන් කාලයත් සමග ක්‍රමයෙන් අඩුවී මුල් තත්ත්වයට පත්වෙනවා. එම රෝග ලක්ෂණ සමනය කිරීම සදහා සුළු ප්‍රතිකාර ලබාගත හැකියි. නමුත් ප්‍රධාන වශයෙන් ඔවුන්ට විශාල ගැටලු මතු නොවෙන අතර තවත් සමහර පිරිසකට කලාතුරකින් ඇදුම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.
වෛරස් රෝගයකින් පසු තාවකාලික ඇදුම සාමාන්‍යයෙන් ඇතිවන දෙයක්.. නමුත් කොවිඩ් සෑදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබ සුවවූ සුළු ප්‍රතිශතයකට ඒනම් 5% - 10% අතර පිරිසකට බරපතල ලෙස පෙනහළු වලට ස්ථිර හානියක් වීමේ ඉඩකඩ පවතිනවා. විවිධ පර්යේෂණ මගින් ඒවැනි රෝගීන් හදුනාගත යුතුයි. එලෙස ඔවුන් හදුනාගෙන ඒ සදහා ඖෂධ මගින් යම් කිසි කාලයක් ප්‍රතිකාර කළ යුතුයි. මෙය දීර්ග කාලයක්ද විය හැකියි. ඊටත් අමතරව පෙනහළු පුනුරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී කරගනිමින් ඒම රෝගීන් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට උත්සාහ කිරීමට හැකියාවක් පවතිනවා.
මෙලෙස පශ්චාත් කොවිඩ් ලෙස හැදින්වීමේදී ඒක වර්ගයක රෝගීන් පිරිසක් නොව විවිධ මට්ටම් වල සිටින සහ විවිධ මට්ටම් වල රෝග ලක්ෂණ පවතින රෝගීන් සිටිනවා. කොවිඩ් නියුමෝනියා තත්ත්වය හෝ කොවිඩ් රෝග තත්ත්වය ඇතිවූ විට ශරීරයේ ලේ කැටිගැසීම අධික වන අතර නිදන්ගත රෝග ඇති වැඩිහිටියන්ට මෙය බලපෑමේ හැකියාවක් පවතිනවා.
මෙම පශ්චාත් කොවිඩ් සංකූලතා ඇතිවීම පිළිබදව වැදගත් කරුණු පැහැදිලි කිරීම සිදුකළේ, හෝමාගම මූලික රෝහලේ සහ අවිස්සාවෙල්ල රෝහලේ ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් රෝගය පිළිබද මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය තුෂාර ගලබඩ මහතා පැවසුවේ, කොවිඩ් සෑදී සුවය ලැබීමෙන් පසු මිය යන පිරිස් මිය යාමට හේතුව කොවිඩ් රෝගය ද නොමැතිනම් වෙනත් හේතුවක් නිසාද කියා නිශ්චිතවම ප්‍රධානකිව නොහැකි බව පැවසීය.
එමෙන්ම කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත්වීම හෝ කොවිඩ් රොගය ආසාදනය වීම නිසා තමන් මීට පෙර විවිධ රෝගාබාධ වෙනුවෙන් ලබාගත් ඖෂධ කිසිසේත් නැවැත්වීම නොකළ යුතු බවද ඔහු අවධාරණය කළා.
එසේනම් කොවිඩ් හමුවේ සෞඛ්‍ය පුරුදු පළිහක් කරගමින් අපි පරිස්සම් වෙමු.. කොවිඩ් වැළදී සුවවූ ඔබද පශ්චාත් කොවිඩ් තත්ත්වයන් වලට පත්නොවීමට පරිස්සම් වෙන්න වගබලාගන්න...
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.