අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොකක්ද මේ ටීනියා දිලීර? මේ පිළිබදව ඔබ දැනුවත්ද?

    අගෝස්තු 08, 2021

    මෙම දිනවල බහුලව කතාබහට ලක්වන සහ තරමක් වේගයෙන් පැතිර යන මෙම ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයකි.

    රිංවර්ම් නමින් හැදින්වුවද මෙය පණුවෙකුගෙන් ඇතිවන රෝගයක් නොවෙයි.. මිනිසුන්, සතුන් හා පස ඇතුළු බාහිර පරිසරයේ පවතින ඩර්මටොෆයිට් (Dermatophyte) නම් දිලීර කාණ්ඩයක් නිසා මෙම රෝගය ඇතිවන අතර මෙම දිලීර වලට අපගේ හිසකෙස්, නිය සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් රෝගය පතුරවා හැරීමේ හැකියාවක් පවතී.

    මෙම රෝගයෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනුයේ කැසීමක් සහිත රතු පැහැති ලප හට ගැනීමයි. මෙම ලප මැද සිට රවුමට පැල්ලමක් ලෙස පැතිරෙන අතර ලප මතුපිට සම ගැලවීයන සිවභාවයක් දැකිය හැකි වෙයි.

    මෙය අලුත් රෝගයක් නොවන අතර මෙම වකවානුවෙහි රෝගය වාර්තා වීමෙහි සහ පැතිර යාමෙහි වැඩි ප්‍රවනතාවයක් දක්නට ඇත. පසුගිය වසර කිහිපය මුලුල්ලෙහි ප්‍රභේදය වෙනස්කම් වලට ලක්වීමද මෙයට එක් හේතුවකි.

    බොහෝ රෝගීන්ගේ ඉකිලි, කිහිලි වැනි දහඩිය දැමීම අධික සිරුරේ නැමෙන ස්ථාන වල මෙම ලප පළමුව හටගනී. සිරුරේ ඖනෑම තැනකට මෙම ලප පැතිරයාමේ හැකියාවක් ඇත.

    මේවා රිංවර්ම් නමින් හැදින්වෙන්නේ ලප වල මැද සුව වෙමින් මුද්දක ආකාරයට රවුමට දාරයක් ලෙස පැතිරීම හේතුවෙනි. ලප වල දාරය වඩාත් රතු පැහැති වන අතර ඇතැම්විට ඉහලට එසවුණු බවක් හෝ සැරව බිබිලි හෝ වතුර බිබිලි වැනි ස්වභාවයක් දාරවල දැකිය හැක.

    දියවැඩියාව වැනි රෝග සදහා ඖෂධ ලබාගන්නා රෝගීන් හට අධික වශයෙන් මෙය පැතිරයාමේ අවධානමක් පවතින අතර මෙය බෝ වීම ස්පර්ශය මගින්ද සිදුවෙයි.

    මෙම දිලීර රෝගය ආසාදිත යැයි සැකයක් ඇති ඕනෑම අයෙකුට චර්ම රෝග සායනයකට යොමුවී සායනික පරීක්ෂාවකට යොමුවීමෙන් හදුනාගත හැක.

    මෙම රෝගය ඕනෑම වයසක අයෙකුට හටගත හැකි අතර කුඩා දරුවන්ට රෝගය වැළදීමේ වැඩි අවදානමක් පවතී. මාස දෙකේ සිට දරුවන් අතර මෙම රෝගය හමුවෙයි. මින් පෙර මෙම රෝගය කුඩා දරුවන්ගේ හිසකෙස් අතර ව්‍යාප්ත වූ අතර ශරීරයෙහි දක්නට ලැබුණේ අඩු වශයෙනි. නමුත් වර්තමානය වන විට කුඩා දරුවන්ගේ ශරීරයෙහි රෝගය ව්‍යාප්ත වීම වැඩිවී ඇත. දරුවන් සමග නිතර සිටින පවුලේ අයට මෙම දිලීර රෝගය වැළදී ඇතිනම් ඔවුන්ගෙන් දරුවන්ට රෝගය බෝවීමේ හැකියාවක් පවතියි. මෙය පවුලේ අයට මෙම රෝගය වැළදී ඇතිනම් නිරෝගී දරුවන්ට වුවද ශරීරය පුරා දිලීරය වයාප්ත වීමේ හැකියාවක් පවතී.

    නිදන්ගත රෝග ඇති අය, වකුගඩු සහ අවයව බද්ධ කළ පුද්ගලයන් ආදීන්ගේ ප්‍රතිශක්තීකරණය දුර්වල බැවින් මෙම දිලීර රෝගය ඔවුන් හට ආසාදනය වුවහොත් මුළු ඇගෙහිම හටගැනීමේ හැකියාවක් පවතී.

    නිවෙස් ආශ්‍රිතව සුරතලයට ඇතිකරන බල්ලන්, බළලුන් සහ හාවුන් වැනි සතුන් සමෙහි ස්පර්ශ වීම මගින්ද මෙම රෝගය ඇතිවිය හැකිය. නමුත් මෙම වකවානුව තුළ සතුන්ගෙන් බෝවීමක් එතරම් දැකිය නොහැකිය.

    රෝගය ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇති අවස්ථා වනුයේ

    · දහඩිය දැමීම අධික කාලගුණ තත්ත්වයන්

    · පුද්ගලික පිරිසිදුකම අඩුවීම

    · සිරුරට තදවන කෘතිම ඇදුම් භාවිතය

    · ඇදුම් හුවමාරු කරගැනීම

    · සිරුරු එකට ගැටීම බහුලව සිදුවන රග්බි, පාපන්දු වැනි ක්‍රීඩා වල නිරත වන අයට

    · සිරුරේ ප්‍රතිශක්තිය අඩු වන රෝග වලින් පෙළෙන අයට

    · දියවැඩියා රෝගීන්ට

    ටීනියා ස්පර්ශයෙන් බෝ වන නිසා රෝගය වැළදුණු අයෙකුගේ සම හෝ ඔවුන් භාවිතා කළ ඇදුම්, පනාව, හිස් ආවරණ වැනි සම සමග සෘජුව ගැටෙන ඇදුම් පැළදුම් මගින් රෝගය තවත් අයෙකුට බෝ විය හැකිය. එමෙන්ම වැසිකිළි ආසන, ඇද වැනි හවුගේ පරිහරණය කරන ගෘහ උපකරණ මගින්ද රෝගය පැතිර යා හැකිය.

    ටීනියා ආසාදනයකින් වැළකී සිටීමට නම් සමතෙත් බවින් තොරව වියළිව පවත්වාගැනීම වැදගත් වෙයි. පෞද්ගලික පිරිසිදුකම පවත්වාගැනීමත් රෝගය වැළදී ඇති අය නිසි ප්‍රතිකාර සදහා යොමු වීමත් අවශ්‍යය. ඇදුම් පැළදුම්, පනා ආදිය තනි තනිව භාවිතා කළ යුතුය. රෝගය ආසාදිතයෙකු නිවසෙහි සිටියි නම් ඔහුගේ ඇදුම් වෙනම සේදීමටත් කණපිට හරවා අවුවේ වේලාගෙන ඇදුම් මැද භාවිතයට ගැනීම වැදගත් වෙයි. සිරුරට හිර නොවන කපු යට ඇදුම් භාවිතයට හුරුවන්න. නයිලෝන් යට ඇදුම් භාවිතයෙන් වළකින්න. එමෙන්ම හැකි සෑම විටම පාද ආවරණය නොවන පාවහන් භාවිතා කිරීම මෙන්ම සුරතල් සතුන්ට සමෙහි ආබාධයක් ඇති බව හැගෙන්නේ නම් ඔවුන්ට ප්‍රතිකාර ලබාදෙන්න. ඔවුන් අනවශ්‍ය ලෙස සිරුරට ළංකර ගැනීමෙන් වළකින්න.

    මෙය දිලීර ආසාදනයක් බැවින් නිසි දිලීර නාශක ඖෂධ නිසි කාලයක් බාවිතා කිරීම මගින් රෝගය මුළුමනින්ම සුව කරගත හැක. රෝගය පැතිරී ඇති ආකාරය අනූව ඔබේ වෛද්‍යවරයා විසින් දිලීර නාශක ඖෂධ වර්ගය සහ ඖෂධ පානයට අවශ්‍යයද යන්න තීරණය කරනු ඇත. පුද්ගලයාගෙන් පුද්ගලයාට ලබාදෙන ඖෂධ වෙනස් විය හැක‍. ආලේපනයක් වශයෙන් හෝ ශරීර අභ්‍යන්තරයට ලබාදෙන්නක් විය හැක.

    ක්‍රීම් වර්ග ආලේප කිරීමේදී ලපය මුළුමනින්ම සහ එය අවට අගලක පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි එය ආලේප කිරීමට සැලකිලිමත් වන්න.

    ඖෂධ අවශ්‍ය කාලසීමාව පිළිබදව වෛද්‍යවරයා ලබාදුන් උපදෙස් එලෙසින්ම පිළිපැදීම වැදගත් වනවා සේම රෝගය සුවවී ඇති බවක් පෙනුනද නිසිකලට පෙර ප්‍රතිකාර නැවැත්වීම නොකළයුතුය. එසේ කළ හොත් රෝගය නැවත මතුවීමට හැකිය. බොහෝ අවස්ථා වලදී ටීනියා ආසාදනය සදහා මාසයක් පමණ නොකඩවා ප්‍රතිකාර කළ යුතුය.

    ඔබගේ හිතුමනාපයට හෝ ෆාමසි වලින් ලබාගෙන ඖෂධ භාවිතයෙන් වළකින්න. වෛද්‍ය උපදෙස් මත හැර වෙනත් අයෙකු භාවිතා කළ ඖෂධ භාවිතයෙන් වළකින්න.

    රෝගය මුළුමනින්ම සුව කරගැනීම සදහා පවුගේ අනෙකුත් සාමාජිකයන්ටද රෝගය බෝ වී ඇතිදැයි ප්‍රතිකාර කර එකවර ප්‍රතිකාර වලට යොමුවීම වැදගත් වෙයි.

    කුමන ආකාරයේ ටීනියා ආසාදනයකට වුවද ස්ටෙරොයිඩ ඖෂධ භාවිතය සුදුසු නොවෙයි. දිලීර නාශක සහ ස්ටෙරොයිඩ වල එකතුවක් ලෙස නිපදවූ ආලේපන බොහෝමයක් මේ වන විට වෙළදපොලෙහි පවතියි. බොහෝ විට සමෙහි රෝග වලට ප්‍රතිකාර වශයෙන් ජනතාව මිලදී ගන්නේද, ඖෂධහල් වලින් කසන දදයකට ප්‍රතිකාර වශයෙන් ලබාදෙන්නේද එවැනි ආලේපයක් විය හැකිය.

    එවැනි ආලේපන භාවිතය හේතුවෙන් රෝගය සිරුර පුරාම පැතිරීම මෙන්ම ලප වල ස්වභාවය වෙනස් වීම නිසා රෝග විනිශ්චය අපහසුවීමටද ඉඩකඩ පවතී. එවන් විටක මිල අධික දිලීර නාශක ඖෂධ දීර්ඝ කාලයක් ලබාගැනීමටද සිදුවිය හැකිය.

    - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර. -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya