මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ඒඩ්ස් දිනය- ලෝක ජනගහනයෙන් මිලියන 38කට අධික පිරිසකට එච්. අයි. වී

    දෙසැම්බර් 01, 2020

    සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් (01)පළමු වැනි දිනට යෙදී ඇත.

    පළමුවෙන්ම මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණේ 1988 වර්ෂයේදී ය. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව "ගෝලීය  සහයෝගීතාවය සහ සාමූහික වගකීම යන්නයි". (Global solidarity, shared responsibility) මෙය කොවිඩ් වසංගතයද හේතුකොටගෙන නිර්මාණය කර ඇත. Covid 19 ලොව පුරා පැතිර  යන්නට පටන් ගැනීමත් සමඟ ලෝක ඒඩ්ස් දිනය ගැන තබා එච්.අයි.වී. (AIDS) ආසාදිතයන් වෙත ඇති අවධානය ද බොහෝ දෙනකුගෙන් ගිලිහීයාම කණගාටුවට කරුණකි.

    Covid 19 මෙන්ම එච්.අයි.වී ආසාදනය ද, ගෝලීය මහජන සෞඛ්‍ය ගැටලු අතර බරපතළ ගැටලුවක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට මේ වනවිටත් ලෝක  ජනගහනයෙන් මිලියන 38කට අධික පිරිසක් එච්. අයි. වී. නැතිහොත් ඒඩ්ස් නිසා පීඩා විඳිති. වඩාත් කනගාටුදායකම කාරණය එම පිරිසෙන් මිලියන 2.8කට ආසන්න පිරිසක් වයස අවුරුදු  දහනවයට අඩු දරුවන් වීම ය. දිනකට දරුවන් 880 දෙනකු එච්. අයි. වී. ආසාදිතයන් අතරට අලුතින් එක්වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ ඉන් මියයන  ගණන දිනපතා වාර්තා වුණත් එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව, එයින් මියයන සංඛ්‍යාව පිළිබඳ වාර්තාවක් නිරන්තරයෙන්ම වාර්තා වන්නේ නැත. ඒ නිසා ඒඩ්ස් ආසාදිතයන් ගණන හෝ එයින්  මරණයට පත්වන සංඛ්‍යාව හෝ සමාජ අවධානයට ලක්වන්නේ අවම වශයෙනි. එසේ වූවත් ලෝක ජනගහනයෙන් 770,000කට ආසන්න සංඛ්‍යාවක් එච්. අයි. වී. නිසා සෑම වසරකම මරණයට  පත්වෙයි. ඒ අතර දිනකට දරුවන් 310ක් මිය යන බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.

    1988- 2018 වසර දක්වා එච්. අයි. වී. වලින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මිලියන 32කට අධික බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව එච්. අයි. වී. වසංගතයක් බවට පත්ව ඇති අතර එය ලොව  විශාල ප්‍රදේශයක පැතිර යමින් තිබෙන බව ද වසංගත රෝග විශේෂඥයෝ පවසති. එමෙන් ම එය ඉතා සක්‍රියව පැතිර යමින් තිබෙන බව ද ඔවුන් පෙන්වා දෙති. වසරක් පාසා අලුතින් වාර්තා වන  මිලියන සංඛ්‍යාත එච්. අයි. වී. ආසාදිතයන් ගණනින් එය තහවුරු කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට පසුගිය වසරේදී නව ආසාදිතයන් මිලියන 1.7කට අධික ප්‍රමාණයක් වාර්තා  වී ඇත.

    එච්. අයි. වී. ආසාදිත තත්ත්වයට පත් අය ජීවත්ව සිටියදී ඉතා විශාල පීඩනයකට පත් වෙති. ඒ, ඔවුන්ට සමාජයෙන් එල්ල කෙරෙන වෙනස්කම් හේතුවෙනි. එවැනි ආසාදිතයකු ව  නිරන්තරයෙන්ම කොන් කිරීමකට, හුදෙකලා කිරීමකට ලක් කෙරේ. රැකියාවක් කරගැනීමට හෝ සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමට හෝ නොහැකි වීමෙන් ඔවුන් මහත් අසහනයකට  පත්වෙති. එච්. අයි. ආසාදිත තත්ත්වයට පත් අයකුට මුහුණදෙන්නට සිදුවන ඉතාම බැරෑරුම් සහ අවාසනාවන්ත තත්ත්වවලින් එකක් ලෙස එය හඳුන්වදිය හැකිය. එච්. අයි. වී සම්බන්ධයෙන්  සාමාන්‍ය ජනයා දරන දුර්මත මඟින් සමාජයට ඉතා ප්‍රබල හානියක් ද සිදු කෙරේ.

    මෙම රෝගය නිසා ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන අයහපත් බලපෑම ද සුළුපටු නොවේ. අද වනවිට පවත්නා වඩාත් අභාග්‍ය සම්පන්නම කාරණය, ගෝලීය වශයෙන් පැතිර යන කොරෝනා  වසංගතය, ඒඩ්ස් ආසාදිතයන්ට සිදුකරන බලපෑම කවර අන්දමේ එකක්ද යන්න පැහැදිලි නොවී පැවතීමයි.

    ඒඩ්ස් රෝගී තත්ත්වය මිනිසාට ඇති කෙරෙන්නේ මානව ප්‍රතිශක්ති ඌනකාරක වයිරසය නැමැති වයිරසයක් හේතුවෙනි. දීර්ඝ කාලයක් මුළුල්ලේ පර්යේෂණ පැවැත්වුව ද ඒඩ්ස් සුවපත් කළ  හැකි නිශ්චිත එන්නතක් නිර්මාණය කරගන්නට මිනිසා තවමත් අපොහොසත් වී සිටීයි. එම ආසාදිතයන්ට ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රතිවයිරස තෙරපි ක්‍රම (highly active antiretroviral  therapy) භාවිතයට ගනිමින් දැනට ප්‍රතිකාර කරනු ලැබේ. එම ප්‍රතිකාර ක්‍රම යම්තාක් දුරකට සාර්ථක වී ඇත. එවැනි ප්‍රතිකාර භාවිතයට ගනිමින් කළ හැකි වන්නේ ආසාදිතයන් වෙනත්  නොයෙක් ආසාදනයන්ට ගොදුරු වී ඉක්මනින් ජීවිතාක්ෂයට පත්වීම අවම කරගැනීම ය. ඒඩ්ස් ඉක්මනින් පැතිර යන නැගෙනහිර අප්‍රිකා රාජ්‍යවල සහ දකුණුදිග අප්‍රිකා රාජ්‍යවල මේ ප්‍රතිකාර  ක්‍රමය වඩාත් සාර්ථක වී ඇති අන්දම කැපී පෙනෙයි. කෙසේ වූවත් ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රතිවයිරස තෙරපි ක්‍රමවලට නිරාවරණය නොවන ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් ලොව පුරා  තවමත් සිටින බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. එම ප්‍රතිකාර ක්‍රමවලට නිරාවරණය වීමට නොහැකි හේතුව කවරක් වුවද ඒ පිරිසගේ ජීවිත මේ වනවිටත් පවතින්නේ දැඩි අවදානම්  තත්ත්වයක බව නොකිව මනා ය.

    මෙම කරුණු දෙස බලනවිට එක් දෙයක් පැහැදිලි ය. එනම්, ප්‍රතිකාර ක්‍රමවලට නිරාවරණය වෙමින් මරණයට පත්වීමට ඇති අවදානම අඩු කර ගෙන නොමැරී මැරෙමින් ජීවිත කාලය දික් ගස්සා  ගත් එච්. අයි. වී. ආසදිතයකු බවට පත්වීමට වඩා නිරෝගී පුද්ගලයකු ලෙස ජීවත්වීම වඩාත් යහපත් බව ය. එම යහපත අප කාටත් අත්පත් කරගත හැකි වන්නේ මානව චර්යාව විනයක් ඇතිව  සකසා ගතහොත් පමණි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමු නොවීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම, සංස්කෘතිය හා බැඳුණු සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රියාවන්ගෙන් මිදීම එනම්, චර්ම  ඡේදනය වැනි සංස්කෘතික සම්ප්‍රදායන්, දරුවන් සහ කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම නවතා ගැනීමට පියවර ගැනීම ඒ අතර ප්‍රධාන කාරණාය. ඒ හැරුණුවිට රුධිර පාරවිලයනයෙන් ද,  මවගෙන් දරුවාට වයිරසය සම්ප්‍රේෂණය වීමෙන් ද එච්. අයි. වී ආසාදනය වේ.

    ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි. මෙරට පළමු ආසාදිතයා  වාර්තා වී තිබෙන්නේ 1987 වසරේදී බව ද සදහන් වෙයි. එතැන් සිට අද දක්වා එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හමුවුවත් ලෝක බැංකු වාර්තාවෙහි  දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තවමත් එච්. අයි. වී. ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වන රාජ්‍යයක් ලෙස ය. එවැනි සඳහනක් තිබූ පමණින් අපට සතුටට පත්වන්නට හැකියාවක් නැත. එයට හේතුව  එච්. අයි. වී. ආසාදිත තත්ත්වයේ පසු වූවත් ඒ බැව් නොදැන තවත් පිරිසක් මෙහි ජීවත්වනවා යැයි අනුමාන කළ හැකි බැවිනි. එය බෙහෙවින් ම භයානක තත්ත්වයක් ද වන්නේ ය. ඒ හැරුණු විට  ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීමට ඉවහල් වන අවදානම් සහගත පුද්ගල චර්යාවන් ද මෙරට පුද්ගලයන් අතර දක්නට ලැබේ.

    මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන වැඩි පිරිසක් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරත වන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ඈත්වීමට තිබෙන  ආරක්ෂක උපක්‍රමයක් ලෙස විද්‍යාත්මකව පිළිගෙන ඇති කොන්ඩම් භාවිතය මෙරට ගණිකාවන් අතර පහළ මට්ටමක පවතින බව ලෝක බැංකු වාර්තා ද පෙන්වා දෙයි. එසේම ගණිකා වෘත්තියේ  යෙදෙන සමහරුන්ට එච්.අයි.වී. ආසාදනය වීම ගැන දැනුමක් පවා නොමැති බව ද තහවුරුව ඇත. අනාරක්ෂිත ලිංගික හැසිරීම් මඟින් එච්. අයි. වී. ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් ශ්‍රී ලංකාව  තුළ ඇති බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් බහුල වශයෙන් විදේශ රැකියාවන් සඳහා යොමු වීම මඟින් ද එච්. අයි. වී. ආසාදිතයන් වැඩි වීමේ අවදානමක් ඇත. මිලියන  දෙකකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා විදේශවලට සංක්‍රමණය වී ඇත. එයින් 49%ක් පමණ කාන්තාවන් ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවෝ ලෙස මැද පෙරදිග රටවල  සේවයේ නිරතව සිටිති. ඔවුන් ඉතා පහසුවෙන් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබේ. මේ හැරුණුවිට නිදහස් වෙළෙඳ කලාපවල සේවයට පැමිණෙන තරුණ පිරිස් අතරින්ද එච්.අයි.වී.  ආසාදිතයන් මතුවීමේ අවදානමක් තිබේ. ශ්‍රී ලංකාවේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසෙන් 2%කට ආසන්න පිරිසක් එන්නත්  භාවිතයෙන් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගනිති. ඔවුන්ගෙන් ද එච්.අයි.වී. ආසාදිතයන් ඇත්වීමට පුළුවන.

    මෙරට අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරතවන තරුණ පිරිස වැඩි වී ඇත. උපකාරක පන්ති හේතුවෙන් එම ප්‍රවණතාවන් ඇති වී තිබෙන බව ද අනාවරණය වේ. 2010 වසර වනතුරු මෙරටින්  වාර්තා වුණු එච්.අයි.වී. ආසාදිතයන්ගේ වයස් සහ එයින් පසුව වාර්තා වුණු ආසාදිතයන්ගේ වයස් ගැන සැලකිලිමත්වීමේදී මේ බව තහවුරු වේ. මුල් කාලයේදී මෙරටින් වාර්තා වුණු  එච්.අයි.වී.ආසාදිතයන් පසුවූයේ වයස අවුරුදු 35 - 45ත් අතර වයස් ඛණ්ඩයේ ය. එයට වඩා අඩු වයස්වල පසුවන අය පවා එච්.අයි.වී.ආසාදිතයන් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව  සෞඛ්‍ය බලධාරීහු පවසති. එය මෙරට එච්. අයි. වී. ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතා භයානක තත්ත්වයක් බව ද මතක් කර දිය යුතුව ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, මෙරට තුළ 1600ක පමණ පිරිසක් ඒච් අයි වී ආසාදිතව ප්‍රතිකාර නොලබමින් සමාජයේ ජීවත් වන බවද, තමා  ආසාදිතයෙකුදැයි දැනගත හැක්කේ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පමණක් වන බවත් . ඒච් අයි වී පරීන්ෂණය සිදුකරගැනීම මෙන්ම ආසාදිත සියලුදෙනාම ප්‍රතිකාර ලබාගැනීමද වැදගත් බවයි  සදහන් කළේ. එමෙන්ම ඒච් අයි වී ආසාදිතයින් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය යහපත් තත්ත්වයක පවත්වාගත හැකි වන අතරම ප්‍රතිශක්තීකරණය දුර්වල ඒච්  අයි වී ආසාදිතයින් හට කොවිඩ් වැළදීමේ අවදානමක්ද පවතින බවත් සදහන් කළේය. මෙරට තුළ ඒච් අයි වී සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර සෑම දිස්ත්‍රික්කයකම සායන 42ක් මේ  සදහා වෙන් කර ඇත. ඒමෙන්ම ඒච් අයි වී පරීක්ෂණ ද නොමිලේ සිදුකරගැනීමේ පහසුකම් සලසා ඇත. ප්‍රතිකර ලබන්නන්ගේ රහස්‍යභාවය සීයයට සීයක්ම ආරක්ෂා කරමින් ඒකවර මාස  තුනකට ප්‍රතිකාර ලබාදෙන බවද, අදාල රෝගියාට අවශ්‍ය ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේය. අනාරක්ෂිත ලිංගික චර්යා වලින් වැළකී ඒ්ඩ්ස් වෛරසයෙන් වැළකීම ඔබේත් මගේත් වගකීමයි.

    මනෝජා සමරනායක

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya