ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙන් අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.
ඒ සදහා ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය, විශේෂඥ ප්‍රජා දන්ත වෛද්‍ය උදය උස්ගොඩ ආරච්චි මහතා, විශේෂඥ වෛද්‍ය පද්මා ද සිල්වා මහත්මිය, විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා සහ විශේෂඥ වෛද්‍ය රසිකා දිසානායක මහත්මිය ඇතුළු විද්වත් මඩුල්ල විසින් සවිස්තරාත්මක ලෙස කරුණු පැහැදිලි කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාව ගෙන යන ලදී.
එම හරවත් දේශන රාශියෙන් මුඛ පිළිකා පිළිබද මනා අවබෝධයක් මෙන්ම වැදගත් කරුණු රැසක් උකහාගත හැකි විය. ශ්‍රී ලංකාවේ පිළිකා අතර දෙවන ස්ථානය ගන්නේ මුඛ පිළිකාවයි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව වනවා සේම, කාන්තා පාර්ශවය අතර බහුලව දක්නට ලැබෙන පිළිකා 10 අතරටද ඇතුළත් වෙයි.
සෑම දිනකම මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙක් පමණ හදුනා ගැනේ. පිරිමින්ගේ පිළිකා අතර දෙවන ඉහළම මරණ අනුපාතය ඇති පිළිකාව මෙයයි. ඉන් දිනකට මරණ 03ක් පමණ සිදුවෙයි. වර්තමානයේ හමුවන පිළිකා වලින් 70%ක් පමණ කල්ගතවී හදුනාගන්නා එනම්, තුන්වන හා හතරවන අවධියේ පිළිකා වන බැවින් සුව වීමට ඇති ඉඩ ප්‍රස්ථාවද සීමා සහිත වෙයි.
පමා වී හදුනාගැනීම දීර්ඝකාලීන ප්‍රතිකාර සදහා යොමුවීමට හේතුවෙයි. මෙම දීර්ඝකාලීන ප්‍රතිකාර හේතුවෙන්, එදිනෙදා ක්‍රියාකාරකම් සීමා සහිත වෙයි. මුහුනේ සුන්දරත්වයට බලපායි. රෝගියාගේ ආත්ම අභිමානයත්, ජීවිතයේ ගුණාත්මක බවත් අඩු වෙයි. රෝගියාට මෙන්ම පවුලේ සාමාජිකයන් හටද, ආර්ථික ගැටලු මෙන්ම මානසික පීඩනයක් ද ඇති කරයි.
මුඛ පිළිකා සදහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ බුලත් විට සැපීම, දුම්කොළ / පුවක් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, දුම්පානය සහ මත් වතුර භාවිතයයි. 2015 සංගණන දත්ත අනූව ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් 45.7% සහ කාන්තාවන්ගෙන් 5.3% කිසියම් ආකාරයක දුම්කොළ නිෂ්පාදනයක් (දුම් සහිත හෝ දුම් රහිත) භාවිතා කරන අතර, ලංකාවේ පිරිමින්ගෙන් 34.8%ක් සහ කාන්තාවන්ගෙන් 0.5%ක් මත්වතුර භාවිතා කරයි.
වතු කම්කරුවන්, රියදුරන්, ධීවරයන්, පතල්කරුවන්, ගොඩනැගිලි තනන්නන්, මුරකරුවන් සහ ගොවීන් අප රටෙහි මුඛ පිළිකාවට සම්බන්ධ අවදානම් සාධක වැඩිපුර භාවිතා කරන කණ්ඩායම් වශයෙන් හදුනාගෙන ඇත. ඔවුන් අතරින් වාර්තා වන පූර්ව මුඛ පිළිකා සහිත පුද්ගලයින් මෙන්ම, මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාවද අධික වෙයි. මුඛ පිළිකා අවදානම් සාධක කෝවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියටද වක්‍රව බලපායි. එනම් දුම්පානයේදී මෙන්ම බුලත්විට සැපීමේදී නිරන්තරයෙන් අත සහ මුඛය ස්පර්ශ වීම, මෙම ද්‍රව්‍ය එකිනෙකා අතර හුවමාරු කරගැනීම මෙන්ම බුලත්විට හැපීම සමග බැදී ඇති කෙළ ගැසීමේ පුරුද්ද මෙම ආසාදනය පැතිරීමේ අවදානම වැඩි කරයි. එමෙන්ම දුම්පානයෙන් පෙනහළු, හෘදය සහ ශරීරයේ අනෙකුත් අවයව වලට හානි පමුණුවන නිසා, දුම්පානය කරන්නන්
හට කෝවිඩ් 19 හි සංකූලතා ඇතිවීමට වැඩි හැකියාවක් පවතී.
බොහෝ මුඛ පිළිකා ඇතිවීමට පෙර මුඛ කුහරය තුළ පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් හටගනී. පූර්ව මුඛ පිළිකා තත්ත්වයන් මෙන්ම මූලික අවධියේ මුඛ පිළිකාද, ස්වයං මුඛ පරීක්ෂාවකින් හෝ සායනික මුඛ පරීක්ෂාවකින් හදුනාගැනීමේ හැකියාවක් පවතී.
අවදානම් පුරුදු වල නිරත වන අයෙකු මසකට වරක් ස්වයං මුඛ පරීක්ෂාවක් හා මාස 06කට වරක් සායනික මුඛ පරීක්ෂාවක්ද සිදුකරගත යුතුය. මුඛ පිළිකා සහ පූර්ව මුඛ පිළිකා වල අනතුරු ඇගවීමේ සංඥා විවිධාකාරයෙන් මුඛය තුළ හටගත හැක. එනම්, මුඛය තුළ අසාමාන්‍ය වර්ධනයක්, සති දෙකකට වඩා පවතින සුව නොවන තුවාලයක්, සුදු ලප, රතු ලප හෝ සුදු රතු මිශ්‍ර ලප, සාමාන්‍ය රෝස පැහැය වෙනුවට පවතින අසාමාන්‍ය සුදුමැලි ස්වභාවයක්, මුඛය විවෘත කිරීමේ අපහසු භාවයක් හෝ, දිවෙහි චලනය සීමා වීමක් සහ මිරිස් සහිත ආහාර ගැනීමේදී මුඛයේ ඇතිවන අසාමාන්‍ය දැවිල්ලක් පූර්ව අනතුරු ඇගවීමේ සංඥා වශයෙන් හදුනාගත හැක.
මුඛයේ යම් වෙනස්වීමක් ඇති බවට සැකයක් ඇත්නම්, ළගම ඇති දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමුවීමට පසුබට නොවන්න. ඔබේ සැකය දුරු කර අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු ඔබව යොමු කරනු ඇත. ඉක්මණින් ප්‍රතිකාර වලට යොමුවීම සහ අවදානම් පුරුදු වලින් ඉවත් වීම මගින්, පූර්ව මුඛ පිළිකා බහුතරයක් මුඛ පිළිකා බවට පත්වීම වළක්වාගත හැකිය. කල්ගතවී හදුනාගත් මුඛ පිළිකා වලට සාපේක්ෂව කලින් හදුනාගත් මුඛ පිළිකා ප්‍රතිකාර කිරීමෙන් සුව වීමට ඇති හැකියාව ඉහළය.
ශරීරයේ ඇති අනෙකුත් අංගයන් සේම මුඛය අත්‍යවශ්‍ය මෙන්ම පුද්ගලයෙකුගේ බාහිර පෙනුම සදහාද බලපානා අංගයකි. මුඛය ආශ්‍රිත වැරදි චර්යා රටා දරුණු රෝග වලට අත වනයි. සුන්දර සිනහවකට උරුමකම් කීමට මෙන්ම පුද්ගල සන්නිවේදනයේ වැදගත් කර්තව්‍යයක් ඉටුකිරීමට සැදී පැහැදී සිටිනා මුඛය හොදින් රැකබලා ගනිමින් මුඛ පිළිකා මාරයා පරදවමු.
- පූර්ණා