අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රණවිරු දින සැමරුම අභිමානවත්ව සැමරේ

    මැයි 19, 2020

    විජයග්‍රහණයේ ඒකළොස්වන සැමරැමට සමගාමීව ජාතික රණවිරු දින සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරක පරිශ්‍රයේ දී අද (19) සවස 04.00ට අභිමානවත්ව ආරම්භ විය.

     

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රණවිරු සැමරුම් උළෙල ආරම්භ විය. මෙවර කොරෝනා වසංගතයට රට මුහුණ පා ඇති නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උත්සවයේ වැඩකටයුතු සංවිධානය කර තිබූ අතර උත්සවය සදහා සහභාගී වූයේද වෙන වසර වලට සාපේක්ෂව සීමිත පිරිසකි.

    රඛවිරු ස්මාරක පරිශ්‍රයෙහි අහස උසට විහිදුණු රණවිරු ටැඹ වටකෙරූ පවුරෙහි අප රටෙහි දෙවන නිදහස් අරගලය විජයග්‍රහණයෙන් සමාප්ත කරනු වස් මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් 27486 දෙනෙකුගේ නම් සටහන්ව පවතී. අද මෙම පවුර මෙන්ම රණවිරු ස්මාරක පරිශ්‍රය අවට ආලෝකමත් වෙමින් අමුතුම සිරියක් උසුලන්නට වූයේ උත්සවය ආරම්භයේම ඒහි චාම් බව විදහාපෑමට මෙනි. ප්‍රථමයෙන්ම සුවිශේෂී අමුත්තන්ගේ සම්ප්‍රාප්තිය සිදුවිය.

    පිළිවෙලින් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිතුමන්, ගුවන් හමුදාපති ඒයාමාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මැතිතුමන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මැතිතුමන්, මාර්ෂල් ඔප් ද ඒයාර් ෆෝස් (Air Force )  බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මැතිතුමන්, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවිය.

    උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය වාදනය කිරීම මීළගට සිදුවූ අතර ඉන්පසු අවදියෙන් සිටින මුර කරන සෙබලුන් රණවිරු ස්මාරකය අභියස ස්ථානගත වීම සිදුවිය. උත්සවයේ ඊළග වැදගත් අංගය වශයෙන් මවුබිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය ඉදිරිපත් කිරීමේ මොහොතේදී ඒම පාඨය ප්‍රකාශ කරන ලදී.

    ඉන් අනතුරුව 2020 ජාතික රණවිරු සැමරුම සදහා පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සියලුදෙනාම පිළිගනිමින් පිළිගැනීමේ කතාව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා විසින් සිදුකල අතර අවසානයේ ඔහු විසින් මියගිය රණවිරුවන් සිහි කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් ප්‍රකාශයට පත්කරන ලදී.

    ඉන්පසු නැවතත් රණවිරු ස්මාරකය අභියස අවදිව සිට මුර කරන සෙබලුන් මාරුවීම සිදුවූ අතර ඉන් අනතුරුව සර්ව ආගමික වතාවත් සිදුකෙරුණි. බෞද්ධ ආගමික වතාවත් ශාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනායක හිමියන් සිදුකළ අතර, හින්දු ආගමික වතාවත් ශ්‍රී ලංකා හින්දු ආගමික සම්මේලනයේ සභාපති, අග්‍රාමාත්‍යතුමන්ගේ හින්දු ආගමික කටයුතු පිළිබද සම්බන්ධීකාරක රාමචන්ද්‍ර කුරුක්කල් බාබු ශර්මාතුමන් විසින් සිදු කරන ලදී.

    ඉස්ලාම් ආගමික වතාවත් සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති ඒම් ඒස් ඒම් පාරුක් මවුලවිතුමන් විසින්ද, කතෝලික ආගමික වතාවත් කතෝලික රදගුරු සමුළුවේ සහකාර මහලේකම් ටෝනි මාර්ටින් පියතුමන් විසින්ද සිදුකරන ලදී. නැවතත් ස්මාරකය අසල අවදියෙන් සිටින මුරසෙබලුන් මාරුවීම සිදුවූ අතර ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරන ලදී.

    ඒහිදී ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සටන් කිරීමේදී අප රටේ රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවූ බව සිහිකළ ජනපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ යුධ හමුදාවේ වසර විස්සකට ආසන්න කාලයක් සක්‍රීය සේවයෙහි යෙදුණු නිලධාරියෙකු ලෙසත්, පසුව දස වසරකට ආසන්න කාලයක් ආරක්ෂක ලේකම්වරයා ලෙසත් කටයුතු කල තමන් හට පුරවැසියෙකු ලෙසත් අපගේ රණවිරුවන් සිදුකල කැපකිරීම පිළිබද හොද අවබෝධයක් ඇති බවයි.

    තමා යුද්ධයේ වේදනාව හොදින් හදුනන බව වැඩිදුරටත් පැවසූ ඒතුමන් විශේෂයෙන් අවදාරණය කලේ විශාල පරිත්‍යාගයක් කොට සමස්ථ ශ්‍රී ලාංක්ක ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන සහ ගෞරවය නැතිකිරීමට ගන්නා උත්සාහයන් තමා කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි.

    සිය රජය යටතේ මේ රටේ වීරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය හැමවිටම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවද ඒතුමන් පැවසීය.

    ජනපත්තුමන්ගේ කතාවෙන් පසුව ඒළඹියේ රට‌ වෙනුවෙන් දිවි පිදූ රණවිරු සහෘදයන් වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් උපහාර පුදකරන අවස්ථාවයි. මෙහිදී අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානා ත්‍රිත්වයකින් ගුවන් හමුදාව සිය පුෂ්පෝපහාරය රණවිරු ස්මාරකය වෙත පුදකරන විචිත්‍රවත් මොහොතේදී ගෲප් කැප්ටන් අසේල කුරුවිට විසින් අණ දෙන ලදී. ඉන් අනතුරුව ඒළඹියේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දැක්වීමේ අවස්ථාවයි.

    හමුදා තූර්ය වාදක හඩ මධ්‍යයේ ප්‍රථමයෙන් ජනපත්තුමන්ද, ඉන්පසු අගමැතිතුමන්ද වශයෙන් පැමිණ සිටි ප්‍රභූන් සියල්ලෝම රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර පුදකරන ලදී. අනතුරුව රණවිරු පවුල් වල ඥාතීන් තම මියගිය සහෘදයන් සිහිකරමින් පුෂ්පෝහාර රණවිරු ස්මාරකය වෙත සංවේදීව පුද කරන ලදී. දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් වැයෙන වාදනය සහ පිබිදීමේ වාදනයත් සමගින් උත්සවයේ නිමාවද චාම් අයුරින් සනිටුහන් විය.

    සටහන- පූර්ණිමා

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya