අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් රාජ්‍ය ආයතන තුළ විටට වැට

    ජූලි 25, 2019

    හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයේ තේමාව වනුයේ රාජ්‍ය ආයතන වල ''විටට වැට'' යන්නයි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරා රටවල් ගණනාවක් මෙවර 2019 ජූලි 27 වන දිනට යෙදී ඇති ලෝක හිස හා ගෙල ආශ්‍රිත පිළිකා දිනය සැමරීමට එක්වෙයි.

    මෙම දිනය අපහට වැදගත් වන්නේ හිස සහ ගෙල ආශ්‍රිතව ප්‍රදාන පිළිකාවක් වන මුඛ පිළිකාව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව වන නිසාය. ඒ නිමිත්තෙන් මුඛ පිළිකා සෑදීම සදහා මුල් වන අවදානම්
    සාධක, එම පිළිකාව කලින් හදුනා ගැනීම සහ එම අවදානම් සාධක වලින් මහජනතාව ආරක්ෂා කරගැනීම සදහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන අදහස් කරගෙන සිටී.


    ඒ අනූව රාජ්‍ය ආයතන වල විටට වැට යන තේමාව යටතේ හිස හා ගෙල ආශ්‍රිත ලෝක පිළිකා දිනය සැමරුම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජූලි 25 අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන පිළිකාව වනුයේ මුඛ පිළිකාව බවයි.


    මුඛ පිළිකාව සෑදීම සදහා ප්‍රධාන වශයෙන් හේතු වන අහිතකර භාවිතයන් වන්නේ බුලත් විට සැපීම, දුම් පානය, පුවක් සහ පුවක් පැකට් සැපීම සහ මත් වතුර භාවිතයයි. මේවා අතරින් මුඛ පිළිකා සෑදීම සදහා බුලත් විට ප්‍රධානම සාධකය බවට පත්වී ඇත.


    බුලත් යනු ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග අතීතයේ සිටම බැදී පවතින ඉතා වැදගත් අංගයක්. ආගමික උත්සව වලදී, සුභ කටයුතු වලදී වැදගත් චාරිත්‍ර වාරිත්‍ර වලදී ද බුලත් භාවිතයට ලාංකිකයන් පුරුදු වී සිටියි. මෙලෙස සංස්කෘතිකමය වටිනාකමක් ඇති බුලත් මුඛ පිළිකා ඇතිකිරීමට ප්‍රධාන වශයෙන්ම හේතුසාධක වන බව ජනතාව කෙතරම් දුරට දැනුවත් ද?


    මෑතකදී සිදුකළ පර්යේෂණ වලින් ඔප්පුවී ඇති කරුණක් වනුයේ බුලත්විට කෑම සහ මුඛ පිළිකාව අතර සම්බන්ධය පිළිබදව බහුතර ජනතාව නොදැනුවත් බවත් එය පිළිගැනීමට ඔවුන් මැළිකමක් දක්වන බවත්ය. බුලත්විට සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ආදී අහිතකර භාවිතයන්ගෙන් ඈත් වීමෙන් හා මුඛය පරීක්ෂාකර බලා මුඛ පිළිකා අවධානම් තත්ත්ව කලින් හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීමෙන් මුඛ පිලිකා වළක්වාගැනීමේ හැකියාවක් පවතී. මුඛ පිළිකා හටගැනීම හේතුවෙන් මුඛයේ විකෘති ඇතිවීම, කෑම අරුචිය, මුඛයේ දුගද ආදී තත්ත්වයන් ඇතිවිය හැකිය. මෙවැනි රරෝග ලක්ෂණ ඇත්නම් තමන්ගේ මුඛයේ අසමානතා ඇතිනම් එය දන්ත වෛද්‍යවරයෙකු හමුවී පහසුවෙන් පරීක්ෂා කරගැනීමේ හැකියාවක් පවතී. මෙවැනි පහසුකම් හමුවේ වුවද මුඛ පිළිකාව කලින් හදුනාගැනීමට නොහැකි වීමෙන් සහ ප්‍රතිකාර සදහා යොමු වීමට ප්‍රමාද වීමෙන් අපේ රටේ බහුතරයක් මරණයට පත්වේ.


    මුඛ පිළිකා හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුවත් මියයන අතර මුඛ පිළිකා ඇතිවීමට හේතුවන අනෙකුත් සාධක වශයෙන් පෝෂණ ඌනතාවය, අයහපත් මුඛ සෞඛ්‍යය හා හියුමන් පැපිලෝමා වෛරස් ආසාදනය දැක්විය හැකියි. දිනකට බුලත්විට 3කට වඩා සපන පුද්ගලයින්, දවසකට බුලත් විට 1-3 අතර සපන, අවුරුදු 30 ට වැඩි, පුරුද්දක් ලෙස දුම් පානය කරන හා සතියකට වතාවක් මත් වතුර පානය කරන්නන්ද දවසකට පුවක් පැකට් එකක්වත් සපන පුද්ගලයින්ද මුඛ පිළිකා වැළදීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් ලෙස හදුන්වා දෙයි.


    රාජ්‍ය ආයතන වල විටට වැට ක්‍රියාදාමය ඔස්සේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පියවර රැසක් ගෙන ඇත. එහි මුල් අදියර වලදී සංස්කෘතිය සමග බැදී ඇති බුලත් වට්ටිය නොහොත් දැහැත් වට්ටියට සංස්කෘතික අගයක් ලබාදීම සිදුකර ඇත. ඒ අනූව බුලත් වට්ටියේ වූ දුම්කොළ විස්ථාපනය කර ඒ වෙනුවට සාදික්කා වසාවාසි වැනි ඖෂධීය ද්‍රව්‍ය එකතුකර ඖෂධීය දැහැත් වට්ටියක් බවට
    පත් කිරීම සිදුකර ඇත. තවත් අදියරක් වශයෙන් සෞඛ්‍ය ආයතන වල බුලත් විට කෑම සහ බුලත්විට දුම්කොල ආදිය විකිණීම තහනම් කිරීමත් සිදුකර ඇත.

    පසුව මෙය සෞඛ්‍ය ආයතන වලට පමණක් සීමා නොවී කැබිනට් සංදේශයක් මගින් රාජ්‍ය ආයතන වලද විටට වැට බැදීමට චක්‍රලේඛණයක් අනුමත කරගෙන ඇත. ඒ අනූව අංක 1982/33 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2016/09/01 දින සිට දුම් රහිත දුම් කොළ අඩංගු ද්‍රව්‍ය නිස්පාදනය, ආනයනය, විකිණීම හා විකිණීමට ඉදිරිපත් කිරීමද තහනම් කර ඇති බැවින් සහ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පිරිමි පාර්ශවය අතර බහුලවම පවතින මුඛ පිළිකාව සදහා බලපාන ප්‍රධාන අවදානම් සාධක අඩු කිරීමට පිළියමක් ලෙස බුලත් විට, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් පහත පරිදි කටයුතු කළයුතු බවට 2019/03/12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.


    ඒ අනූව සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත් විට, දුම්කොළ, පුවක් සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන භාවිතය තහනම් වන අතර එම ආයතන වලට අයත් ආපනශාලා වල බුලත්විට, දුම්කොළ, පුවක් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය නැවැත්විය යුතුය. ඉහත විදිවිධානයන්ට අනුකූලව කටයුතු කිරීමට ද සියලුම ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

    මුඛ පිළිකාව ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති ආකාරය පැහැදිලි කල ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ රජයේ රෝහල් වල මේ වන විට පිළිකා ඒකක 23ක් පවතින බවයි. ජාතික පිළිකා ලේඛණයේ දත්ත වලට අනූව 1985 වසරේදී පිළිකා රෝගීන් 5000ක් වාර්තා වූ අතර එය 2014 වසරේදී 23105ක් දක්වා වර්ධනය වී ඇත. ජනගහණයෙන් ලක්ෂයකට වසරකට නව පිලිකා රෝගීන් 98ක් වාර්තා වන අතර පසුගිය වසර 25 ත්‍රළදී පිළිකාවේ වැඩිවීමක් වාර්තා වී ඇත. 2018 වසරේදී වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 29843කි. වසරකට පිළිකා රෝගීන් 25000ක පමණ ප්‍රමාණයක් වාර්තා වේ. පසුගිය වසර 25 දෙස බැලීමේදී අපේ රටේ පිරිමින් අතර අංක 01 ට වාර්තා වූ පිළිකා වර්ගය වනුයේ මුඛ පිලිකාවයි. දෙවැනි තැන හිමිවන්නේ පෙනහළු පිලිකා සදහායි. නමුත් මෙම තත්ත්වය බටහිර රටවල සාපේක්ෂව වෙනස් වේ. එනම් බටහිර ජාතීන්ගේ අහිතකර ජීවන චර්යාවක් වන දුම් පානය හේතුවෙන් ඔවුන් අතර වැඩි ප්‍රමාණයක් සිටින්නේ පෙනහළු පිලිකා රෝගීන්ය.


    ශ්‍රී ලංකාවේ වසරකට 130,000 – 150,000 අතර ප්‍රමාණයක් පිළිකා හේතුවෙන් මියයන අතර මුඛ පිළිකා හේතුවෙන් මියයන ප්‍රමාණය වසරකට දහස ඉක්මවයි. ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 3ක් හෝ 4ක් මුඛ පිළිකා හේතුවෙන් මියයන අතර බටහිර රටවල පිළිකා හේතුවෙන් මිය යන්නේ ඉතා අඩු පිරිසකි. එයට හේතුව මෙම රෝගී තත්ත්වයන් කලින් හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු වීමයි.
    අහිතකර ජීවන රටාවලින් අත්මිදීම මගින් සියලු පිළිකා වලින් තුනෙන් එකක ප්‍රමාණයක් වළක්වාගැනීම් හැකියාව අප සතුව පවතී. කලින් හදුනාගෙන නිසි ප්‍රතිකාර සදහා යොමුවීමෙන් මුඛ පිළිකාවද අපට වළක්වාගත හැක. දිව, තොල්, මුඛ කුහරය සහ ග්‍රසනිකාව ආශ්‍රිතව ඇතිවන පිළිකා මුඛ පිළිකා ලෙස හදුන්වන අතර මුඛ පිළිකාවක් ඇතිවීමට ප්‍රථම මුඛයේ විවිධ වෙනස්කම් හදුනාගත හැකිවේ. ඒ අතර කල් පවතින සුදු ලප, කල් පවතින රතු ලප, කල් පවතින සුදු සහ රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ ඝන වීමක් සහ සුදුමැළි වීමක් හෝ කල් පවතින සුව නොවන තුවාලයක් රෝග ලක්ෂණ ලෙස ගත හැකිය. තමා විසින්ම මුඛය පරීක්ෂා කරගැනීමෙන් මෙම රෝග ලක්ෂණ පහසුවෙන් හදුනාගත හැකිවේ.


    පරීක්ෂණ දත්ත අනූව ලංකාවේ පිරිමින්ගෙන් 45%ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන අතර, හතරෙන් එකක් දුම්පානයටද හතරෙන් එකක් දුම්කොල සැපීමටද තුනෙන් එකක් මත්පැන් පානයටද පුරුදු වී සිටියි. රටකට දුම්කොළ ආශ්‍රිත නිස්පාදන භාවිතා කිරීමේ ප්‍රතිශතය 10%ට වඩා අඩු අගයක් ලබාගත හැකි නම් එම රටට පිළිකා රෝගීන් ප්‍රතිශතය සෑහෙන මට්ටමකින් අඩුකරගත හැක. ලාංකික කාන්තාවන්දු ම්පානය කිරීමෙන් බොහෝ දුරට ඈත්වී සිටියත් කම්කරු සහ වතු ආශ්‍රිතත රැකියා වල නියුතු කාන්තාවන් බුලත්විට භාවිතයට හුරුවී සිටියි. ඒ අනූව ලංකාවේ බුලත්විට සමග දුම්කොළ භාවිතා කරන කාන්තා ප්‍රතිශතය 5%කි.

    ජාතික පිළිකා ලේඛණයට අනූව මුඛ පිළිකාව ලංකාව තුළ වසරෙන් වසර වැඩි වෙමින් පවතින අතර, පිරිමින් අතර වාර්තා වන සියලු පිළිකා වලින් 16%ක් මුඛ පිළිකාය. පසුගිය වසර කිහිපය තුල බුලත් විට සැපීම සහ දුම්පානය හේතුවෙන් මුඛ පිළිකාව වර්ධනය වී ඇත. කාන්තාවන් අතරද මුඛ පිළිකාවේ වර්ධනයක් දැකිය හැකි අතර ඔවුන් අතර වාර්තා වන පිළිකා වලින් 4%ක් මුඛ පිළිකායි. අවුරුදු 35 සිට පිරිමින්ගේ මුභ පිළිකා වාර්තා වන අතර බාබුල්, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ළමුන් අතරද ප්‍රචලිත වී ඇති නිසා ඉදිරියේදී පිළිකා තත්ත්වයන් වර්ධනය වීමක්ද පිලිකා වැළදෙන වයස අඩුවීමක්ද සිදුවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.


    ලංකාවේ මුඛ පිළිකා හේතුවෙන් වසරකට පුරුෂයින් 863ක්ද කාන්තාවන් 289ක්ද මියයයි. මේ හේතුවෙන් ලොව තුළ පිළිකා නිසා සිදුවන මරණ වලින් තුනෙන් එකක් 2030 වන විට වලක්වා ගැනීමේ තිරසාර ඉලක්කයකට ලෝක සෞඛ්‍ය සංවිධානය අතගසා ඇත.


    ජාතික පිළිකා මර්දන ඒකකයේ මුඛ පිළිකා වෛද්‍ය ඒකකය භාර වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා පැවසුවේ මුඛ පිළිකාව මූලික අවස්තාවේ හදුනාගෙන නිසි ප්‍රතිකාර කිරීම තුළින් එය 100%ක් සුවකරගත හැකි බවයි.ලංකාවේ 76%ක් පමණ මුඛ පිළිකා රෝගීන් වාර්තා වනුයේ අවසාන අවස්ථාවේ හදුනාගත් අයයි. ඒ හේතුවෙන් මියයන සංඛ්‍යාව වැඩිවී ඇත. මුඛ පිළිකා වලින් 85%ක්ම ඇතිවන්නේ බුලත්විට භාවිතය හේතුවෙනි. විටෙහි අඩංගු දුම්කොළ සහ පුවක් ප්‍රධාන පිළිකා කරක වන අතර දුම් කොළයෙහි පිළිකා ජනක ද්‍රව්‍ය 28ක් ද, පුවක් වල පිළිකා ජනක ද්‍රව්‍ය 4ක් ද පවතී. තවද ඇබ්බැහිකාරක සහ උත්තේජක දුම්කොළයේ අඩංගු වේ. මිනිසුන් දුම්කොළ නැවත නැවත භාවිතයට පෙළඹෙන්නේ මේ නිසාය. දුම් පානය මෙන්ම දුම්කොළ සපාකෑම තුළින් එකම අහිතකර තත්ත්වයක් ඇතිවන අතර මෙහි වෙනස් වනුයේ භාවිතා කරන ආකාරය පමණි.

    දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන වර්තමානයේ අප රට තුල ප්‍රචලිත අතර භාවිතයද වැඩිවී ඇත. වැඩකරන ජනතාව සහ කම්කරු ප්‍රජාව මේවා භාවිතයෙහි වැඩි පුවනතාවයක් දක්වයි. මුඛ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තා දත්ත වලට අනූව වයස අවුරුදු 35 – 44 ත් අතර පුද්ගලයන්ගෙන් 20%ක් බුලත්විට භාවිතා කරයි. දුම්කොළය පිළිකා ජනක බව බොහෝ දෙනෙක් දැන සිටියද පුවක් පිළිකා ජනක බව බොහෝ දෙනා නොදනී.

    බාබුල්, මාවා, දුම් කුඩු, පෑන්පරා (පුවක් පැකට්) ආදිය අපේ සමාජයේ තරුණ ප්‍රජාව අතර වැඩි වශයෙන් ප්‍රචලිත වී ඇති බැවින් අවුරුදු 20 සිට පූර්ව මුඛ පිළිකා තත්ත්ව වාර්තාවීම ඛේදජනක තත්ත්වයකි.
    නිරෝගීමත් ජීවිතයක් - ප්‍රීතිමත් සිනහවක් අප සැමගේ පැතුමයි. ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය නිමිත්තෙන් අප රට තුළ රාජ්‍ය ආයතන වල විටට වැට බදිනවා සේම බුද්ධිමත් ජනතාවක් වශයෙන් අප සැම අපගේ නිවෙස් වලද විටට වැට බැදීම අරඹමු. එමගින් සැමට නිදහසේ සුව සිනා නැගිය හැක.


    රචනය - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya