මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ජනගහන දිනය අදයි - ජනගහනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රධාන අභියෝගය වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීමයි

    ජූලි 11, 2019

    අදට (ජූලි 11) යෙදී ඇති ලෝක ජනගහන දිනය නිමිත්තෙන් සිදුකළ විමසීමකදී ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි. ආර්. බණ්ඩාර මහත්මිය පැවසුවේ , ලංකාවේ ජනගහනය සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රධාන අභියෝගය වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනය වීම බවයි.


    ලෝක ජනගහන දිනය සෑම වසරකම ජූලි මස 11 වැනි දින සැමරේ. ගෝලීය ගැටලු පිළිබද දැනුවත් කිරීම උදෙසා මෙම දිනය නම්කොට තිබේ. වර්තමානයේ ලෝක ජනගහනය බිලියන 7.7ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. වඩාත්ම ජනාකීර්ණ මහද්වීපය ආසියා මහද්වීපයයි. එහි ජනගහනය බිලියන 4.54කි. එය ලෝක ජනගහනයෙන් 60%කි. ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රටවල් දෙක චීනය හා ඉන්දියාව වන අතර එම ජනගහනය ලෝක ජනගහනයෙන් 36%කි.
    රටක ජනගහනය පිළිබද සංඛ්‍යාත්මක දත්ත ලබාගනු ලබන්නේ ජන හා නිවාස සංගණනයක් මගිනි.

    ජන හා නිවාස සංගණනයක් යනු නිශ්චිත භූමි ප්‍රදේශයක, නිශ්චිත කාලයකදී රටක ජීවත් වන සියලුම පුද්ගලයින් ගණන් ගැනීම හා එම පුද්ගලයින්ගේ ප්‍රජා විද්‍යාත්මක සමාජ ආර්ථික හා ඔවුන් පදිංචි නිවාස ඒකක වල තොරතුරු රැස්කිරීම, විශ්ලේෂණය කිරීම හා ප්‍රකාශයට පත්කිරීමයි. මෙය ඉතා සංකීර්ණ හා අධික වියදමක් වැයවන කාර්යයක් බැවින් ජන සංගණනය ලෝකයේ සෑම රටකම පාහේ වසර 10කට වරක් පවත්වනු ලබයි.


    ජන හා නිවාස සංගණනය මගින් කිසියම් නිශ්චිත දිනයකට අනූව රටක ජීවත් වන සෑම පුද්ගලයෙකුගේම ප්‍රජා විද්‍යාත්මක, සමාජීය හා නිවාස පිළිබද තොරතුරු ලබාදේ. මෙම තොරතුරු කුඩාම පරිපාලන ඒකකය දක්වාම
    ලබාදීමට හැකියාව ඇති එකම දත්ත ප්‍රභවය ජන හා නිවාස සංගණනයයි. රටක ජාතික මට්ටමෙන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් සිදුවන විවිධ සංවර්ධන සැලසුම් කටයුතු සදහා පාදක කරගනු ලබන්නේ මෙමගින් ලබාගන්නා තොරතුරුයි.

    ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මගින් අවසන් වරට එනම් 2012දී සිදුකල ජන හා නිවාස සංගණනයට අනූව, දිවයිනේ වැඩිම ජනගහණයක් වාසය කරන්නේ බස්නාහිර පළාතේය. එය දිවයිනේ මුඵ ජනගහනයෙන් 28.7%කි. අඩුම ජනගහණය උතුරු පළාතෙන් වාර්තාවන අතර එය මුඵ ජනගහනයෙන් 5.4%ක් ලෙස දැක්වේ. එසේම වැඩිම ජනගහනයක් ඇති දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය වන අතර එය දිවයිනේ මුඵ ජනගහනයෙන් 11.4%ක් ලෙසත්, අඩුම ජනගහනයක් මුලතිවු දිස්ත්‍රික්කයේ වෙසෙන අතර එය මුඵ ජනගහනයෙන් 0.5%ක් ලෙසත් වාර්තා වේ.

    ජනගහනය ප්‍රධාන වයස් කාණ්ඩ තුනක් අනූව විහ්ලේෂණය කරනු ලැබේ. එනම්, ළමා ජනගහනය(අවුරුදු 15 ට අඩු), වැඩකරන වයසේ ජනගහනය (අවුරුදු 15-64), වැඩිහිටි ජනගහනය (අවුරුදු 65 හෝ ඊට වැඩි) වශයෙනි. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ලෙස පිළිගනු ලබන්නේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජනගහනයයි.

    ශ්‍රී ලංකාවේ පසුගිය සංගණන වර්ෂ සලකා බලන විට ප්‍රජා විද්‍යාත්මකව ඉතා වැදගත් වෙනසක් වයස් සංයුතියේ සිදුව ඇත. එනම් ළමා ජනගහනය ක්‍රමිකව අඩුවීමත්, ඊට සමානුපාතික ලෙස වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සිදුව ඇත. එමෙන්ම තරුණ ජනගහනයෙහි (වැඩකරන ජනතාව/ ශ්‍රම බලකාය) පැහැදිලි වර්ධනයක් දැකිය හැකිය.

    රටේ ආර්ථික සංවර්ධනයට බලපෑමක් ඇතිකල හැකි ජනගහනය මෙලෙස වැඩිවීම ශ්‍රී ලංකාව තුළ ආර්ථික සංවර්ධනයට හිතකර තත්ත්වයකි. එනම් ප්‍රජා විද්‍යා පාරිතෝෂිකයක් (Demographic Dividend) පවත්නා තත්ත්වයකි. ප්‍රජා
    විද්‍යා පාරිතෝෂිකයක් යනු රටක ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම සදහා ප්‍රශස්ථම ආකාරයෙන් ජනගහන සංයුති ව්‍යුහය නිර්මිත වී ඇති අවස්ථාවයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අයි. ආර්. බණ්ඩාර මහත්මියට අනූව රටතුළ වැඩිහිටි ජනගහනයේ සීඝ්‍ර වර්ධනය සම්බන්ධයෙන් ජපානය වැනි දියුණු රටවල් ඵලදායී ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතත්, අප රටේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තවමත් නිශ්චිත පියවරක් ගෙන නොමැත.

    ජපානය වැනි රටවල් වැඩිහිටියන් වෙනුවෙන් රෝහල් ඉදිකිරීම, විවිධ වැඩමුඵ පැවැත්වීම, කෘෂිකර්ම වැනි අංශ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, රටපුරා සංචාරයට නොමිලේ ගමන් ප්‍රවේශපත්‍ර ලබාදීම, ඔවුන්ගේ
    ශ්‍රමය අත්දැකීම් ආදිය විවිධ වෘත්තීන් සදහා යොදා ගැනීම ආදිය සිදුකරයි. මේ හේතුවෙන් වැඩිහිටියන් සෞඛ්‍ය සම්පන්නවනවා මෙන්ම ඔවුන් හට ආත්ම අභිමානයක්ද ඇතිවේ.

    නමුත් අපේ රටේ වයස අවුරැදු 60න් පසු මිනිසුන් වැඩකල නොහැකි පිරිසක් බවට මතයක් ගොඩනගා ඇත. රාජ්‍ය සේවකයන් පවා අවුරුදු 60න් විශ්‍රාම ගිය පසු ඔවුන් මානසිකවද ශාරීරිකවද දුර්වල බාවයකට පත්වේ. එයට හේතුව ඉන් පසු ඔවුන් කෙරෙහි විශේෂ අවදානයක් රටේ වගකිවයුතු පාර්ශව නොදැක්වීමයි. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවා භුක්ති විදින අප රටේ මිනිසුන් බහුතරයක් අවුරුදු 60න් පසුව වුවද වැඩ කලහැකි හොද මානසික සහ සෞඛ්‍ය තත්වයකින් පසුවේ. එහෙත් ඔවුන් අවුරුදු 60න් විශ්‍රාම යැවීම තුළින් ඔවුන්ගේ වටිනා අත්දැකීම් සහ ශ්‍රමය රටේ සංවර්ධනය සදහා අහිමි වී යාම කනගාටුදායක තත්ත්වයකි.

    රටේ ශ්‍රම බලකාය සදහා උරදීමට අපේ වැඩිහිටියන් තවමත් ශක්තිමත් බව මෙම කරැණු විශ්ලේෂණයේදී හොදින් පෙනීයන කරුණකි. ජීවිතයේ සැදෑසමය හුදෙකලාව ගෙවීමට නොව ආත්මාභිමානයෙන් ගතකිරීම සදහා ඔවුන්ට අත්වැලක් වීමට මං විවර වේවායි මෙම ලෝක ජනගහන දිනයේදී ලක්වැසියන්ගේ පැතුමයි.

     සටහන- පූර්ණා නානායක්කාර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya