අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් තොරව සිරිපා කරුණා කරමු- - මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීමක්

    දෙසැම්බර් 26, 2018

    සෑම වර්ෂයකම උඳුවප් පොහොය දින එළඹීමත් සමග ශ්‍රී ලාංකීය ජනතාව සිරිපා වන්දනා සමය ආරම්භ කරති. බෞද්ධ බැතිමතුන් මෙන්ම සෙසු ආගම්වල ජනතාව ද අඩු වැඩි වශයෙන් මෙම සිරිපා වන්දනාවට එක්වෙති.

    ශ්‍රී ලාංකීය ජනතාවගේ සංස්කෘතික උරුමයක් මෙන්ම පාරිසරික උරුමයක් ද වන ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත භූමිය වඩාත් වැදගත් වන්නා වූ ආගමික උරුමයක් බවට පත්වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේ දී උන්වහන්සේගේ පාදස්පර්ෂයෙන් පෝෂණය ලැබූ බැවිනි. මෙම ඓතිහාසික සංසිද්ධිය ස්මරණය කරමින් ශ්‍රී ලාංකීය ජනතාව සෑම වර්ෂයකම උඳුවප් මාසයේ පොහෝ දිනයේ සිට වෙසක් පොහොය දිනය දක්වා සිරිපා වන්දනාවට එක්වෙති. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම කාල අවකාශය තුළ යනෙන බැවින් ප්‍රදේශයේ පරිසරයට දරාගත නොහැකි තරමේ ප්‍රමාණයෙන් කැළි කසළ එකතුවීම සිදුවේ. වර්තමානය වන විට එය පාලනය කරගත නොහැකි මට්ටමට ළඟාවීම බැරූරැම් ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

     

    මේ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මධ්‍යම පරිසර අධිකාරිය සමග අදාළ ආයතන ගණනාවක් හා විවිධ ස්වේච්ඡා කණ්ඩායම් සමග එක්වී ශ්‍රීපාද ප්‍රදේශයේ පරිසර සංරක්ෂණය උදෙසා පියවරයන් ගණනාවක් ගන්නා ලදී. පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ පටන් ක්‍රියාත්මක කරන ලද හානිදායක පොලිතීන් නිෂ්පාදන කීපයක තහනමත් සමග අපද්‍රව්‍ය ජනනය කිරීම හැකිතාක් අඩු වී ඇත.

     

    රජය මගින් ක්‍රියාත්මක කරන ලද පොලිතීන් තහනම් වැඩපිළිවෙල සමග ඒකාබද්ධ වෙමින් විශේෂයෙන් අති සංවේදී පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද වන්දනා සමයේ එහි යනෙන විට දී හැකිතාක් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් තොර වූ පරිසර හිතකාමී මෙවළම් පමණක් භාවිතයට ගන්නා ආදර්ශවත් පිරිසක් ලෙසින් කටයුතු කිරීමේ අවශ්‍යතාව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා අවධාරණය කර සිටී. විශේෂයෙන් ලංකාවේ පොළෝතලය සරුසාර කරන ප්‍රධාන ගංගා 4කට තිඹිරිගෙය ලෙසින් ක්‍රියාත්මක වීමත්, පරිසර සංවේදී ප්‍රදේශයක් ලෙසින් සුවිශේෂී වටිනාකමක් හිමිවීමත් නිසා එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින් ප්‍රකාශයට පත්කර තිබීම ද වැදගත් වූවකි.

     

    ඒක දේශික ශාක මෙන්ම සත්ත්ව විශේෂ ගණනාවක් සමගින් ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් ලෙසින් පැවතීමත් නිසා මානව ක්‍රියාකාරකම් හේතුකොටගෙන ඇති වී තිබෙන පරිසර දූෂිත තත්ත්වයන් වහාම පාලනය කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතී.

     

    මෙවැනි ඉතා වටිනා වූ පරිසර පද්ධතියක් තුළ කරනු ලබන වන්දනාමාන කටයුතුවල දී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන උතුම්ම වන්දනාව නම් එම පරිසරයට කිසිම හානියක් නොකර තම වන්දනා කටයුතු කිරීමයි. තමන් විසින් රැගෙන යන කිසිම දෙයක් එම පරිසරයේ බැහැර කරන්නේ නැතිව අදාළ බඳුන්වලට පමණක් බැහැර කිරීම හෝ නැවතත් තමන් විසින්ම ඒවා රැගෙන ඒමත් අනිවාර්ය කළ යුතු දෙයකි.

     

    මේ තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරිසරයට හානිගෙන දිය හැකි පොලිතීන්, ප්ලාස්ටික් භාවිතයෙන් තොර වූ පරිසර හිතකාමී බැතිමතෙකු ලෙසින් මෙවර සිරිපා කරුණා කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිරිපා වන්දනාවේ යෙදෙන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya