අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ”පිබිදෙමු පෙළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ජීවනෝපාය උපකරණ බෙදා දීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    දෙසැම්බර් 10, 2018

    ”පිබිදෙමු පෙළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ජීවනෝපාය උපකරණ බෙදා දීමේ උත්සවයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කළ කතාව


    (2018-12-09 පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී)

    වර්ෂයක් අවසාන වෙමින් නව වර්ෂයක් ළඟා වෙමින් තිබෙන අවස්ථාවක පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතාව ජීවත් වීම පිළිබඳව කරන්නාවූ අරගලයට සහාය වෙමින් ඔබට ඔබේ ස්ව ශක්තියෙන්, දැනුමෙන්, අවබෝධයෙන්, අත්දැකීම්වලින්, පුහුණු වීම් වලින් තමන්ට නැගී සිටීමට අතහිත දෙන මේ ජීවනෝපාය වැඩසටහන ඔබ වෙනුවෙන් කි‍්‍රයාත්මක කරන අවස්ථාවේ ඔබ හමුවීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා.

    ගත වු වසර විසි පහකට වැඩි කාල සීමාවේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ නව සංවර්ධනයක උදාව ආරම්භ වූ බව ඔබ දන්නවා. එහි විශේෂිත පරිපූර්ණ වූ අවස්ථාව තමයි ගෙවී ගිය වසර හතරකට ආසන්න කාල සීමාව.

    2015 ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ ජනාධිපතිවරයා විදියට පත් වීමෙන් පසු රටේ පොදු සංවර්ධන කටයුතු අතර ”පිබිදෙමු පෙළොන්නරුව වැඩසටහන” ලංකාවේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති, යෝජනා ක‍්‍රම තුළ ඉතාමත් ආදර්ශමත් ව්‍යාපෘතියක් වූවාට කිසිදු සැකයක් නැත. ඊට තිබෙන හොඳම සාධකය තමයි මීට අවුරුද්දකට, දෙකකට කලින් පොළොන්නරුවට පැමිණි අය පොළොන්නරුවෙන් පිටස්තර පුද්ගලයින් කියන දෙයක් තමයි පොළොන්නරුව හුඟාක් වෙනස් වෙලා කියන එක. පොළොන්නරුව වෙනස් වෙලා කියනවා වගේම පොළොන්නරුව ඔබ වෙනුවෙන් වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් මම වෙනස් කළා කියන්න එකත් මේ අවස්ථාවේ කියන්නට අවශ්‍යයි. ඒ වෙනස් කළ පොළොන්නරුව වගේම රටම වෙනස් කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ බොහෝ ප‍්‍රතිඵල තියෙනවා.
    පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ”පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන” වගේම වර්තමානයේ කෙරෙන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති තුළ ගොවි ජනතාව, තරුණයින්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය, යටිතල පහසුකම්, රාජ්‍ය සේවය ඒ සියලු අංශ ඇතුළත් කොට කිසිදු අංශයකට අසාධාරණයක් නොවන ආකාරයට මේ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වන බව දන්නවා.

    ඒ වගේම බොහෝ සංවර්ධන කටයුතුවලදී රාජ්‍ය ප‍්‍රතිපත්තිය තුළ කෙරෙන කාර්යයන් වලදී ඒ පොදු සංවර්ධන කාර්යයන් යටිතල පහසුකම් වගේම රටේ අනාගතය, සඳහා අධ්‍යාපනය ද සෞඛ්‍ය ද කෘෂිකර්මය ද අනෙකුත් විවිධ ක්ෂේත‍්‍රවලින් කෙරෙන සංවර්ධන කටයුතු අතරට මේ ජීවනෝපාය විශේෂ ව්‍යාපෘති එක් කළේ එය පැහැදිලි ලෙසම වඩා හොඳ ජීවිතයක් ඇති කිරීම සඳහා ඔබේ ධෛර්යෙන්, ඔබේ කැපවීමෙන් ඔබට නැගී සිටිමටයි. ඔබට විවිධ දක්ෂතාවයන්, හැකියාවන් තිබෙනවා. විවිධ පුහුණුවීම් සමග ඔබ ලබා තිබෙන නිපුණතාවයන්, කුසලතාවයන් ඒ සියල්ල හඳුනාගෙන තමයි මේ ජීවනෝපාය වැඩසටහන කි‍්‍රයාත්මක වෙන්නේ. ඔබට දෙන නොයෙකුත් උපකරණ ඔබට සැබෑ ලෙසම යහපත් ආර්ථිකයක් ඇති කර ගැනීමටයි මේ වැඩසටහනින් දයාද කරන්නේ.

    මේ සියලු සංවර්ධන කටයුතු ඔබ සඳහායි. මේ ජනතාව සඳහායි. මේ සියල්ල ඔබ සහ ඔබේ දරුවන් සඳහායි. මේ සියල්ල රට සඳහායි.

    ඒ නිසා මම විශ්වාස කරනවා ”පිබිදෙමු පෙළොන්නරුව වැඩසටහන” කි‍්‍රයාත්මක වීම නිසා අපේ සියලු රාජ්‍ය නිලධාරීන් දිස්ති‍්‍රක්කයේ ආයතන ප‍්‍රධානීන් ක්ෂේත‍්‍රයේ ඉන්න නිලධාරින් ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක සේවා විවිධ අංශ සෑම විෂය ක්ෂේත‍්‍රයක මීට ඇතුළත් වෙලා විශාල කැපවීමක් කරලා තිබෙනවා.

    භෞතික සම්පත් සංවර්ධනයෙන් පමණක් සැබෑ මිනිසුන් ගොඩ නොනැගෙන නිසා තමයි පන්සල, පල්ලිය, කෝවිල් මුල් කරගෙන ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන් ගුණ යහපත් කරන්න අපි ආගමික ස්ථානවලත් අවශ්‍ය පූනර්ජීවනයක්, වෙනස්කමක්, ප‍්‍රතිසංස්කරණයක් ආරම්භ කරනු ලැබුවේ.

    පොළොන්නරුවේ සංවර්ධනය ඔබට වගේම රටේ ජනතාවට ඇඟට දැනෙනවා. කණට ඇහෙනවා. ඇඟට දැනෙනවා. පාරේ යන කොටත් හොඳට දැනෙනවා. ඒ නිසා ඇඟට දැනෙන, කනට ඇහෙන, ඇසට පෙනෙන සංවර්ධනයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ සංවර්ධන තුළ අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ රටක්, යහපත් සමාජයක් ඒ තුළ අපි පුළුල් අරමුණු රාශීයක් ඉෂ්ඨ වෙයි කියලා විශ්වාස කරනවා. රජයක රාජ්‍ය ප‍්‍රතිපත්තිය වගේම දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ද ඒ සඳහා මේ කැප කිරීම් කරන්නේ කළ යුතු වන්නේ තමා සදහා නොව අන් අය සඳහා කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි සියල්ලම කැපවිය යුත්තේ තමන් ස`දහා නොව අනුන් සඳහායි. ඒ තමයි අපේ අරමුණ වෙන්නට ඕන.

    පොළොන්නරුවේ සංවර්ධනය ඔබ දැකලා තියෙන නිසා දැනිලා තිබෙන නිසා. ඒ ප‍්‍රතිලාභ ඔබ ලබන නිසා. ඒ පිළිබඳව ප‍්‍රදේශයේ ජනතාවගේ යහපත් දැක්මක්, යහපත් ප‍්‍රතිචාරයක් ලැබී තිබෙන නිසා ඒ පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. පොළොන්නරුව වෙනස් කළා වගේම මම කිව්වා රට වෙනස් කරන්න උත්සාහයක් ගත්තා කියලා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, මිනිසුන්ගේ නිදහස, සමාජයේ නිදහස මේ අවුරුදු හතරකට ආසන්න කාලය තුළ ශක්තිමත් කරලා තිබෙනවා, සහතික කරලා තියෙනවා. ඒ පිළිබඳ නොයෙකුත් විවේචන තිබෙනවා. නොයෙකුත් විචාර තිබෙනවා.

    නමුත් 2015 ජනවාරි මාසයට පෙර තිබූ තත්ත්වයට වඩා පසුගියකාල සිමාව රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස මිනිසුන් වෙනුවෙන් සමාජයක ජීවත් වීමේ ඒ නිදහස් අයිතිය තහවුරු කිරීමේ සමාජයක් ගොඩ නගලා තිබෙනවා. රටේ කරලා තිබෙන පුළුල් සංවර්ධන කාර්යයක්. මොරගහකන්ද කළුගඟ ඔබ දකිනවා අද ඒ ඓතිහාසික යෝධ මහා සංවර්ධන ව්‍යාපෘතියේ කටයුුතු අද වඩාත් සාර්ථක වෙලා තියෙනවා. පසුගිය සතියේ මොරගහකන්දේ ජලය පිටාර ගලන අවස්ථාවේ මම එහි ගියා. මුළු ජලාශයම සමිපුර්ණයෙන් පිරිලා මං ඒ ගමනේදි ම ඊට එහා පැත්තේ තිබෙන කළුගඟ ජලාශය බලන්නත් ගියා. කළුගඟ ජලාශයේත් වැඩ කටයුත ලබන අවුරුද්දේ ජුලි මාසය වෙනකොට සමිපුර්ණයෙන්ම අවසන් වෙනවා. එයින් පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, කුරුණෑගල, තී‍්‍රකුණාමල, අම්පාර දිස්ති‍්‍රක්ක ගණනාවකට ලැබෙන ප‍්‍ර‍්‍රතිලාභ අතිවිශාලයි.

    අද මහා වර්ෂාවත් එක්ක අපේ වැවි අමුණු පිරිලා ඉතිරිලා ගොස් සශී‍්‍රකත්වයේ මහා පෙර දැක්මක් අපි දකිනවා. ඒ වගේම රෙටි ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වෙනවා, කර්මාන්ත ක්ෂේ්ත‍්‍රය පුළුල් වෙනවා, රැකියා වැඩිවෙනවා වගේම එයින් ලැබෙන සමාජ ප්‍රතිලාභ රාශියක් තියෙනවා.

    පහුගිය මාස කිහිපයේ මහ වැසි ලැබිචිච විදියට වාරිමාර්ග දෙපාර්තෙමින්තවත් භූ විද්‍යා දෙපාර්තමේන්තුවත් මහවැලි ඇතුළු ස්වභාවික සම්පත් පිළිබඳ පර්යේෂණ අංශ මට පහුගිය සතියේ දුන්නු වාර්තාවක සඳහන් වෙනවා මෙවර මේ ලැබුණු වර්ෂාවේ හැටියට මොරගහකන්ද ජලාශය ඉදිනොවන්නට පොළොන්නරු දිස්ත‍්‍රික්කය පෙර අවස්ථාවලදි වගේ විශාල ජල ගැල්මකට යටවෙන්න තිබුණු බව. ඒ ජල ගැලීම් ලබපු වර්ෂවල කොහොමද පොළොන්නරු දිස්තුික්කයේ තත්ත්වය කියලා ඔබට මතක ඇති.

    මනම්පිටියට යන්න බැහැ පාරක් හොයන්න බැහැ. ඒ වගේම තමයි දිස්තුික්කයේ කුඹුරු අක්කර දසදහස් ගණනින් විනාශ වෙනවා. ඔබ නොදැක්ක ඔබට වාර්තා නොවුණුු පැත්තක් තමයි ඒ.

    මෙවැනි ආකාරයෙන් පොළෙන්නරුව වගේම මුළු රටම වෙනස් කරන්න ගත් උත්සාහයේ බෙහෝ ප‍්‍රයත්නයන් සාර්ථක වුණා වගේම අසාර්ථක වූ අවස්ථාත් තියනවා. අද අප මුහුණ දී සිටින දේශපාලන අර්බුදය එවැන්නක්. මේක සමහර අය දකින්නේ දේශපාන පක්ෂ අතර ප‍්‍රශ්නයක් හෝ මමත් රනිල් වික‍්‍රමසිංහ මහතාත් අතර ප‍්‍රශ්නයක් හැටියටයි. නමුත් මෙම ප‍්‍රශ්නය එවැන්නක් නොව, ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව මම කිව යුතුයි. අප ලෝකයේ තවත් විදෙස් බලවේගවලට යටත් නොවී, තවත් රටක හෝ බලවේගයක තර්ජනවලට යටත් නොවී ස්වාධීන රටක් ලෙස නැගී සිටීමට දරන උත්සාහයේ දී ඊට එරෙහිව නැගී ඇති අභියෝගයක් හැටියටයි මා මෙය දකින්නේ. මීට අවුරුදු හැත්තෑවකට පෙර අධිරාජ්‍යවාදයෙන් නිදහස් වූ අපි ස්වාධීන ගමනක් යන්නට උත්සාහ දරද්දී පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට බාධා කරනවා.

    ඒවා අපි තේරුම් ගත යුතු වෙනවා. අවුරුදු 30කට ආසන්න කාලයක් මිලේච්ජ ත්‍රස්තවාදීන් යුද්ධයක් පැවතිලා, රණවිරුවන්ට පින්සිද්ධ වෙන්න, ඒ යුද ජයග‍්‍රහණය ලබලා, සාමකාමී රටක් විදියට පුළුල් ආර්ථික සංවර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා.

    මේ දේශපාලන අර්බුදයේ කොතරම් දුර ගියා ද කියනවානම් අද අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් තිබුණත්, ඒවායේ කි‍්‍රයාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ ජනාධිපතිවරයාට තනි පුද්ගලයෙක් විදියට ව්‍යවස්ථානුකූලව මේ වන විට බලය ලබා දීලා තිබෙනවා. මම එය කිසිසේත් ම සතුටු වෙන කාරණයක් නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ යුතු රටක තනි පුද්ගලයෙකුගේ පාලනයක් රටට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මේ තනතුර මා හොබ වන කාලය තුළ විශේෂයෙන්ම ගෙවී ගිය දින කිහිපයේ අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලක කි‍්‍රයාකාරීත්වය නොමැතිව මම ඉතාමත් වගකීමෙන්, ඉතාමත් ඉවසීමෙන් මේ කටයුතු කරගෙන යන්නේ. අපේ අධිකරණය මේ තත්ත්වය තේරුම් අරගෙන තීන්දු තීරණ කඩිනමින් ලබා දෙයි කියලා මා විශ්වාස කරනවා. අධිකරණයේ තීන්දුව මොන ආකාරයෙන් තිබුණත් ඒ ඕනෑම තීන්දුවක් මම ගෞරවයෙන් භාර ගන්නවා. ඒ තීන්දු අනුව ගතයුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග ගන්නවා.

    රටේ අගමැති සහ ඇමති මණ්ඩලයේ කටයුතු නැවතිලා තිබුණා. අද ති‍්‍රවිධ හමුදාව, පොලීසිය රාජ්‍ය නිලධාරින් සියලු දෙනා තම වගකීම් ඉතා හොදින් ඉටුකිරීම පිළිබඳ මම ඒ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා. රට තුළ සාමය පවත්වාගෙන ගැටුමක් නැතිව රට කරගෙන යන්න ඒ සියලුදෙනා ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, රාජ්‍ය නිළධාරින් ලබාදෙන ඒ සහයෝගය මම ඉතාමත් අගය කරනවා.

    මේ රට වාසනාවන්ත රටක් කියලා මෙවැනි අවස්ථාවක තමයි පෙනෙන්නේ. ජනතාවගේ සන්සුන් බව, ඉවසීම, ගැටුම්වලින් තොර සාමකාමී බව අද අපි දකිනවා.
    ඒ නිසා මගේ අතට පත්වි තිබෙන මේ තනි බලය හැකි තරම් ඉක්මණින් වෙනස්වෙලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සමග කටයුතු කරන්නට මේ ගෞරවණිය අධිකරණය ඉතා ඉක්මණින් ඔවුන්ගේ තීන්දු තීරණ දීමෙන් පසුව හැකිවෙයි කියා මම විශ්වාස කරනවා. ඒ තුළ අප බලාපොරොත්තු වන හෙට දවස වාසනාවන්ත වන බව මට ඉතාමත් පැහැදිළියි.

    වසරක් අවසන් වෙලා ලබන 2019 නව වසරත්, උදාවන නත්තලත් සියලු ආකාරයෙන් මේ රටේ සමස්ථ ජනතාවට වඩා සුබවාදී, වාසනාවන්ත ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වඩා යහපත් සමාජයක් සහිත පින්බර රටක් වේවා යි ප‍්‍රාර්ථනා කරනවා.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya