මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    මැයි 20, 2018

     වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමරුම පවත්වන අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සමරු උළෙල රජයක් විදියට පසුගිය අවුරුදු නවයක් තිස්සේ මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අපේ ආරක්ෂක සේවාවන් විසින් පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේ 18 වනදායින් පසුව සෑම වසරකම පවත්වා තිබෙනවා.

    ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවාව වගේම මේ රටේ සිවිල් ජනතාව සාමාන්‍ය ජනතාව සිවිල් ජනතාවගේ පැත්තෙන් බැලුවහොත් මේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය නිසා මියගිය සංඛ්‍යාව මෙතෙකැයි කියා හරියට ගණන් බැලු තැනක් නැහැ. කොළඹ නගරයේ ඒ යුගය තුුළ බෝම්බ ප‍්‍රහාරවලින් මියගිය සංඛ්‍යාවන් කොතෙක්ද යන්න නිවැරදිව තෝරාගැනීමේ හැකියාවක් එවකට තිබුණේ නැහැ. ජාතියේ නිදහස සඳහා ඔබේත් මගේත් ආදරණීය මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, ස්වාධීනත්වය, නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට මව්බිම වෙනුවෙන් දිවි පිඳු ආදරණීය වූ ගෞරවනීය වූත් ශ්‍රේෂ්ඨ රණවිරුවන් සෑම කෙනෙක්ටම ශ‍්‍රී ලංකා රජයේත් ලාංකික ජනතාවගේත් මුළු මහත් ජාතියේත් ගෞරවය, ප‍්‍රණාමය මේ අවස්ථාවේදී මා මුලින්ම පුද කරනු ලබනවා.

    වසර තිහකට ආසන්න කාලයක් පැවැති මේලේච්ඡ යුද්ධය තුළ මියගිය සංඛ්‍යාවන් පිළිබඳව නිවැරදි සංඛ්‍යා ලේඛන පැහැදිලි කිරීමට හැකිවන්නේ ත‍්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ මියගිය සහ අතුරුදහන් වූ එමෙන්ම ආපදාවන්ට ලක්වූ රණවිරුවන් පිළිබඳව පමණයි. යුද්ධය පැවැති මුළු කාලය තුළ මියගිය මුළු සංඛ්‍යාව මා පෙර සඳහන් කළ ආරක්ෂක අංශවල 28,708 ක් පමණ වෙනවා. ආබාධිත වූ සංඛ්‍යාව 40,107 ක් පමණ වෙනවා. සිවිල් ජනතාවගේ පැත්තෙන් මියගිය සංඛ්‍යාව නිවැරදිව මෙතෙකයි කියා කීමට හැකියාවක් නැහැ. එවකට සිදුවූ සිදුවීම්වල අත්දැකීම් ඇති අපිට ඒ මතකය අවධි කිරිම තුළ විශ්වාස කළ හැකියි ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අපේ රටේ මිය ගිය බව. ඒ මිය ගියේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස්. එවකට රටේ ජනාධිපතිවරයෙක් නාවික හමුදාපතිවරයෙක් ආරක්ෂක අංශවල ප‍්‍රධානීන් ඇතුළු මේ රටේ දේශපාලනඥයින්, ආරක්ෂක ප‍්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, පොදු මහජනතාව විශාල පිරිසක් මිය ගියා.

    අද ඇතැම් අය යුද්ධය පැවැති ආකාරය, මේලේච්ඡ එල.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව බොහෝ විට වැරදි විග‍්‍රහයන් කරනවා. වැරදි නිගමනයන් සිදු කරනවා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් මියගියේ සිංහල ජනතාව පමණක් නොවේ. මුස්ලිම් ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ නායකවරයෙක් වූ ද්‍රවිඩ නායකයෙක් වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් තරුණ උගත් දේශපාලනඥයෙක් වූ තිරුචෙල්වම් මුළු ලෝකයේම ගෞරවයට ආදරයට පාත‍්‍ර වූ අපේ විදේශ ඇමතිවරයෙක් වූ උගත්, බුද්ධිමත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා එවැනි එක් එක් අංශ වශයෙන් සඳහන් කළ හැකියි.

    ත‍්‍රස්තවාදියා කවුද? රණවිරුවා කවුද? පැහැදිලි කරගැනීමට අද සමහර අයට නොහැකිවීම පිළිබඳව මම කනගාටු වෙනවා. රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයින්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී. ඕ. වලටත් තිබෙනවා. මේ සියලු දෙනාටම ප‍්‍රශ්නයක් දෙස බලන විට ශ‍්‍රී ලාංකිකයින් නම් දේශීය චින්තනයක් තුළ අපේකම් තුළ අපේ උරුමයන් තුළ අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරවය සහ අනන්‍යතාවය තුළ රට ගැන, ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතන්නට කියා මා ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා.

    මෙලෙස දිවි පිඳු රණවිරුවන් ජීවිතය එදා සටන් බිමේදී පරිත්‍යාග කළේ නැත්නම් ඔබ අප විඳින මේ නිදහස අපිට විඳීමට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. වසර 30 ට ආසන්න කාලයක් රට තුළ තිබූ භීෂණය, සැකය, අවිශ්වාසය, අවිනිශ්චිතභාවය, දේශපාලන අස්ථාවරත්වය මේවා පිලිබඳව බොහෝ කරුණු කිව හැකියි. වසර 30 ක් තිස්සේ එවකට පැවැති සෑම රජයක්ම ඉතාමත්ම අවංකව උත්සාහ කළා මේලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදින්ව පරාජය කිරීමට. වසර 30 ක යුද කාලයේදී විශේෂයෙන්ම 2009 මැයි මාසය වන විට එවක පැවැති රජයට පුළුවන්කම ලැබුණා සම්පූර්ණයෙන් ත‍්‍රස්තවාදීන් භෞතික වශයෙන් යුදමය වශයෙන් පරාජය කිරීමට.

    රටින් පිට විදේශයන්හි සිටින එල්.ටී.ටී.ඊ. ජාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල පුද්ගලයින් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරනවා, අපේ ආදරණීය මාතෘ භූමිය වෙන් කරන්න. ඔවුන් බලාපොරොත්තු වූ තවමත් බලාපොරොත්තු තබා ඇති ඊලාම් රාජ්‍යයක් පිළිබඳව සිහිනය සැබෑ කරන්න. එහෙත් මා ඉතා පැහැදිලිව කියනවා, වර්තමාන රජය විදියට මේ රටේ පුරවැසියෙක් විදියට කිසිවිටකත් මේලේච්ඡ ත‍්‍රස්තවාදීන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල ඒ සිහින, බලාපොරොත්තු කිසිවිටකත් ඉටුවීමට අප ඉඩදෙන්නේ නැති බව. අපිට රටක් වශයෙන් මුහුණදීමට සිදුවන අභියෝගවලදී ආර්ථිකය, දේශපාලනය විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව කතා කළ හැකියි.

    පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අපි වර්තමාන රජය විදියට උත්සාහ කළේ එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කරන්න. අපිට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් භෞතික වශයෙන් පරාජය කිරීමට හැකි වුණා. යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි වුණා. මුහුදෙන් එගොඩ සිටින මේ ත‍්‍රස්තවාදී සංවිධානයට අයත් අදත් සිටින පිරිස් ලෝකයේ විවිධ රටවල්වල සිට අපේ රටට අභියෝග කරනවා. ශ‍්‍රී ලංකා රජයට අභියෝග කරනවා. පසුගිය මාසයේ මා ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ගිය අවස්ථාවේ ලන්ඩනයට එක්වූ බටහිර රටවල්වල සිටින ත‍්‍රස්තවාදීන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුද්ගලයින් ශ‍්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා විදියට දැඩි ලෙස ඔවුන් මට විරුද්ධව විරෝධතා පවත්වනු ලැබුවා. ඔවුන්ගේ සටන් පාඨවල තිබුණේ ඔවුන්ගේ සටන නවත්වන්නේ නැති බවයි. පසුගිය අවුරුදු තුනහමාරේ අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කරමින් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් සමග මිත‍්‍රත්වය සහ සුහදතාව ගොඩනගමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛව ජාත්‍යන්තර සංවිධානවල හිත් දිනාගනිමින් අපේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ පැහැදිලි ලෙසම විශාල උත්සාහයක් දරමින් මා පෞද්ගලිකවත් කටයුතු කළේ මේ මතවාදය පරාජය කිරීම සඳහායි.

    යුද්ධය අවසන්වී අද මේ වකවානුව තුළත් අප කැපවිය යුතු වෙනවා එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කිරීමට. දේශපාලන පක්ෂ භේදවලින් තොරව සියලු ආගමික විවිධ භේදයන්ගෙන් තොරව ශ‍්‍රී ලාංකිකයින් විදියට ඔබත් මමත් මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කිරීම සඳහා කැපවිය යුතු වෙනවා. අපේ රණවිරුවාට තිබූ වීරත්වය, සටන්කාමීත්වය, අධිෂ්ඨානය, අවංකභාවය, කැපවීම, දේශමාමකත්වය, දේශවාක්සල්‍යත්වය, දේශය පිළිබඳව සිය අභිමානය මේ සියල්ල සමගයි ඔවුන් ජීවිත පරිත්‍යාග කරනු ලැබුවේ. ඔවුන්ගේ අතපය අහිමි වූයේ ආබාධ වූයේ ඔවුන්ගේ දරුවන්, බිරින්දෑවරුන්, දෙමව්පියන් සමග පවුල් ජීවිත ඔවුන්ට අහිමි වුණා. අපි සැමවිටම රණවිරුවාට දිය හැකි ඉහළම ගෞරවය පුද කළ යුතු වෙනවා. ඉහළම ප‍්‍රණාමය අප විසින් පුද කළ යුතු වෙනවා.

    යුද්ධය පැවැති කාලයේත් යුද්ධය අවසන් කළ අවස්ථාවේත් පෙර පැවැති රජයන් රණවිරුවන් වෙනුවෙන් මියගිය පවුල්වල සුබසාධනය වෙනුවෙන් ආපදාවට පත්වූ රණවිරුවන් වෙනුවෙන් එමෙන්ම සේවාවන්වල යෙදී සිටින සියලු ආරක්ෂක අංශවල කාර්යය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් දිය හැකි දිය යුතු බොහෝ වරප‍්‍රසාද දෙනු ලැබුවා. දීමනා වැඩි කිරීම්, වැටුප් වැඩි කිරීම්, විශ‍්‍රාම වැටුප්වල විෂමතාවයන්, වෙනත් පහසුකම් සැමවිටම ලබා දෙනු ලැබුවා. ඒ සියලු කටයුතුවලදී පසුගිය වසර තුනහමාරක කාලය තුළ අපේ වර්තමාන රජය තුළද එවැනි දේ ඉතාමත් ඉහළින්ම ඉටු කරනු ලැබුවා. එහෙත් මා පැහැදිලිව කියනවා, වර්තමාන රජය තුළත් බොහෝ වරප‍්‍රසාද, පහසුකම් රණවිරු පවුල්වලට ලබා දුන් බව. රණවිරුවා කිසිවිටකත් දේශපාලන අතකොලුවක් නොවිය යුතුයි. දේශපාලනඥයින්ට බලයට එන්න, බලය තිබෙන ආණ්ඩු පෙරළන්න දේශපාලන පක්ෂ සංවිධානය කරන්නට මේ උතුම් රණවිරුවා කිසිවිටකත් දේශපාලන පක්ෂවල හස්තයන්ට යටත් නොවිය යුතුයි කියා මා ඉතා පැහැදිලිව සඳහන් කරනවා.
    රටක් වශයෙන් කටයුතු කරන විට රට තුළ තිබෙන අප විසින් ලබාදී ඇති නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඕනෑම කෙනෙකුට නිදහසේ කතා කළ හැකියි. නිදහසේ ලියන්න පුළුවන්. නිදහසේ විරෝධතා පවත්වන්න පුළුවන්. ඒ සියල්ල තුළ අපගේ වගකීම් සහ යුතුකම් පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඇතැම් දේශපාලන මොළේ අමාරුකාරයින්ට රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා තේරුම් ගැනීම නොහැකි වූවා සේම ඇතැම් වේලාවට මා කනගාටුවෙන් වූවත් කිව යුතුයි රාජ්‍ය මාධ්‍යවලටත් රණවිරුවා පිළිබඳව පැහැදිලි ඇගයීමක් කරන්නට ඔවුන්ට කුමක්දෝ අතපසුවීමක් ඇතිවී තිබෙනවා.

    මා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැහැදිලිවම කියනවා රණවිරුවාට දිය හැකි ගෞරවය සහ සැබෑ රණවිරුවා ජීවිතය පරිත්‍යාග කරමින් කළ කැපකිරීම් පිළිබඳව කිසිවිටකත් අමතක නොකරමින් ජනතාවට ඒ මතකය අවධි කරමින් ඔවුන්ට ලබා දිය යුතු ගෞරවය සැමවිටම ලබා දෙන්න කියා.

    රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන රණවිරුවන් වෙනුවෙන් අපේ රජය කරනු ලැබූ සේවාවන් පිළිබඳව කතා නොකිරීම පිළිබඳවත් මම කනගාටු වෙනවා. දේශපාලන වාසි තකා ඇතැම් දේශපාලනඥයින් කරන කතාවන්, සමහර අය කියා තිබෙනවා රණවිරුවන්ව මේ රජය අමතක කළා කියා. මම ඉතා පැහැදිලිව කිව යුතුයි, අපේ රජය බලයට පත්වෙන්න කළින් තිබුණේ රණවිරු සතියක්. මේ මැයි මාසය අපේ රජය විසින් අමාත්‍ය මණ්ඩලය විසින් රණවිරු මාසයක් බවට පත් කරනු ලැබුවා. මේ රණවිරු මාසය තුළම රණවිරුවාගේ ගුණ සිහිපත් කරමින් ගෞරව කරමින් එම වැඩසටහන ශක්තිමත් කරමින් පින් පමුණුවමින් විවිධ කටයුතු රාශියක් මේ මාසය තුළම සිදු වුණා. සිදු වෙනවා.

    අද දවස ගත්විට, අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවේ යුද කාලය තුළ දක්ෂතාවයන්, කැපවීම් පෙන්නූ සේවාවේ යෙදී සිටි රණවිරුවන්ට ඉහළම ගෞරවනීය ජනාධිපති සම්මානය දෙනු ලැබුවා. අද දහවල් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ස්වාමීන් වහන්සේලා දෙසීයකට වැඩි සංඛ්‍යාවක් වැඩමකරවා පින් පමුණුවා දානයක් පිරිනැමුවා. මේ ස්ථානයේදී ජාතික රණවිරු සමරු වැඩසටහන පවත්වනවා. අද රාත‍්‍රීයේදී කැලණිය රාජමහා විහාරස්ථානයේ ත‍්‍රිවිධ හමුදාව, ආරක්ෂක හමුදාව, ආරක්ෂ අමාත්‍යාංශය, පොලිසිය අපි සියලු දෙනා එක්වී රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීමේ මහා පහන් පින්කමක් අපි පවත්වනු ලබනවා. රණවිරු සේවා අධිකාරිය ඇතුළුව යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාත්, පොලිසියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මේ මාසය තුළ අනෙකුත් අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන එමෙන්ම රාජ්‍ය නොවන ආයතන මහජනතාවගේ සහයෝගය ලබා ගෙන රණවිරුවන්ව සමරමින් ඔවුන්ට ගරු කරමින් ඔවුන්ව සිහිපත් කරමින් සිය වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.

    පූජාච පූජනීයාණං – ඒතං මංගල මුත්තමං. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත‍්‍රිවිධ හමුදාවත්, රජයත් සියලු දෙනාම මේ රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරන්න කැප වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකළ අවස්ථාවේ මිහින්තලාවේදී දේවානම්පියතිස්ස මහරජු හමුවූ අවස්ථාවේ මිහිඳු මාහිමිපාණන් වහන්සේ දුටුවේ දෙවනපෑතිස් රජුගේ අතෙහි තිබෙන සතුන් දඩයම් කිරීමට තිබූ දුන්නත් ඊතලයත්. මිහිඳු හිමිපාණන් වහන්සේ දෙවනපෑතිස් මහරජතුමාට ධර්ම දේශනා කරන ලද්දේ, මහරජ අවි බිම තැබීම අවශ්‍යයි. අවි බිම තැබීමෙනුත් අන්තවාදය අත්හැරීමෙනුත් සමාජය තුළ ආධ්‍යාත්මික ගුණවගාව ශක්තිමත් කරමින් විවිධ මත, දර්ශනයන් තුළ යහපත්, ගුණවත්, සැදැහැවත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ රටක් ගොඩනැගිය හැකියි යන්නයි. අපි යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් අද අවි බිම තබා තිබෙනවා. අද අපි අවි ඔසවාගෙන නැහැ. එහෙත් අන්තවාදය කරපින්නා ගත් පිරිස් මේ රටේ උතුරේ සහ දකුණේ සිටිනවා. අන්තවාදී පිරිස්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රට අවුල් කරන්න උත්සාහ ගන්නවා. මේ ප‍්‍රශ්න අවුල් කරන්න උත්සාහ ගන්නවා. අපි සෑම කෙනෙක්ම මේ තත්ත්වයන් පිළිබඳව ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතුයි. හෙට දවසේ තිබෙන්නාවූ අභියෝග අප විසින් ජය ගත යුතු වෙනවා.
    ආරක්ෂක සේවාවල සාමාජිකයින්ට තිබෙන්නාවූ අභියෝගවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපට එල්ල වූ යෝජනාවලදි ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස කොතෙක් විග‍්‍රහ කළත් අපේ ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යෝජනා තුළත් යුද අපරාධ කිසිසේත් නොමැති බව මා පැහැදිලිවම කියනවා. ඇතැම් අය සඳහන් කරනවා යුද අපරාධ තිබෙනවා කියා. කිසිසේත් නැහැ. එවැනි යුද අපරාධ සම්බන්ධයෙන් කතා කරන්නේ මුහුදින් එගොඩ සිටින රජයට විරුද්ධ ආරක්ෂක හමුදාවට විරුද්ධ අන්තවාදි අදහස් දරන එල්.ටී.ටී.ඊ. ට සම්බන්ධ අය.

    අද දවසේ අපේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රණවිරුවාට ඉහළම ගෞරවය ලබා දෙමින් එම පවුල්වලට අවශ්‍ය සුබසාධන ලබා දෙමින් අපේ වගකීම් සහ යුතුකම් සියල්ල ඉටු කරමු.

     ස්තූතියි. තෙරුවන් සරණයි!

     

    he2

     

    he 5

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya